උං ඝරසරප කිව්වට මගේ නම කඵ කුමාර- ඝරසරප
‘‘උං ඝරසරප කිව්වට මගේ නම කඵ කුමාර. කුමාරයෙක් උණත් මං යකෙක්. අනෙක් අතට යකෙක් උණත් මං කුමාරයෙක්. කට වැහුවට වැඩක් නෑ, මං රිංගන්නෙ රස නහර වලට. ඇස් වැහුවට වැඩක් නෑ. මං රිංගන්නෙ සිතිවිලි අතරට. ඒ නිසා ඔය සිතිවිලි අතරට කොමාවක් මිස නැවතීමේ තිතක් එහෙම තියන්ට එපා ආයුබොවන්ඩ.’’ කඵ කුමාර සංකල්පයේ එන අදහස් සමුච්චයකින් ආරම්භ වන සිනමාපටයේ ඊළග මොහොතේ සදරැස් හා විද්‍යාගේ දෑස් හමුව නිසා කම්පාවට පත්වන කඵ කුමාර යක්ෂයාගේ අඳෝනාවකින් චරිත හදුන්වාදීම සිදුවේ.
බටහිර මනෝවිද්‍යාව හා ලාංකේය ශාන්තිකර්ම අතර පවතින එකිනෙක මුහු නොවූ නමුත් එකම ප‍්‍රස්තුථ ගැටඵවකට පිළියම් ගෙනෙන්නා වූ සංකල්පයක් පිළිබ`දව සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි ඝරසරප තුළින් සාකච්ඡා කරයි. දේශීය සාම්ප‍්‍රදායික දැනුම පරයා බටහිර දැනුම ඉස්මතු වන බවට බොහෝ මතධාරීන් මැත දෙඩවුව ද, දැනුම යන්න විහිදී යාම පිළිබදව අප අවධානයෙන් සිටිය යුතුය. දැනුම් පද්ධති ගණනාවක් ලොව පුරා ක‍්‍රියාත්මක වේ. එකම ආගමක හෝ දර්ශනයක ධර්මයක් හෝ දැනුමක් වුවත් විවිධ සංස්කෘතීන් වෙතට ගමන් කරන්නේ ඒ ඒ සංස්කෘතීන් වලට අනුරූප වෙමිනි. සංස්කෘතියට සහ සභ්‍යත්වයට අනුව පිළිවෙත් සහ ක‍්‍රියාකාරකම් විවිධාකාර වේ. එකම රෝගයකට හෝ ආසාදනයකට විවිධ සංස්කෘතීන් විවිධ පිළිවෙත් සකස් කරගනී. තනිකම යම් සංස්කෘතියකදී අමනුෂ්‍ය බියක් ලෙස හදුනාගනී. පහතරට ශාන්තිකර්මයන්හි දී කඵ කුමාරයා මනෝවිද්‍යාවේදී මනෝව්‍යාධියකි. එම දැනුම් පද්ධති දෙක තුළදී එම රෝගයට විසදුම් ලබා දෙනුයේ දෙයාකාරයකිනි. එක් දැනුම් පද්ධතියක් අනෙක් දැනුම් පද්ධතියක් පරයා නොගියත් පුද්ගලයින්ට සීහෙන තත්වයන් යටතේ ඒ ඒ දැනුම් පද්ධති වලින් ප‍්‍රයෝජන ගත හැක. ජනශ‍්‍රැති කෝෂ්ඨාගාරයෙන් ජයන්ත චන්ද්‍රසිරි උකහා ගන්නා දැනුම් පද්ධතිය ගරිල්ලා මාර්කටින් තුළ සේ ම ඝරසරප තුළදී ද බටහිර විද්‍යාව සමග කරටකර ඝට්ටනය කරයි.
සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ පවතින කඵ කුමාර සංකල්පයේදී තුංමංසල, දියමංකඩ, පාඵවතු වැනි ස්ථානවල තනිපංගලමේ සිටින නවයෞවනියන් හට ඇල්ම බැල්ම පාන කඵ කුමාරයාගෙන් ඇතිවන දොස් පිළිබදව කතා කරයි. නමුත් සිනමාපටයේදී කඵ කුමාර බැල්ම වැටුණු විද්‍යා නම් දමිළ තරුණිය ප‍්‍රතිකාර සදහා ගෙන යන්නේ කිතුණු පල්ලියක් වෙතයි. කඵ කුමාර සංකල්පය ගොඩනැගෙන බෞද්ධ පරිසරයකදී පන්සලට නොගොස් පල්ලිය වෙත යෑමට ජයන්ත උත්සාහදරන්නේ ජාතිවාදී හෝ ආගම්වාදී ගැටඵවකින් තොරව ගැටලූවකට විසදුම් සෙවිය හැකි බව ඒත්තු ගැන්වීමට විය හැක. එහිදී ආගමක් මුල්කරගෙන ප‍්‍රහාරයක් ඇති වන්නේ නම් එයින් ද මිදිය හැකි බව ඔහු සිතන්නට ඇත.
‘‘මේ ඉන්න හැමෝම සුවපත් කළේ මම, හැබැයි මේ දරුවව සුව කළේ නම් මම නොවෙයි.’’ පල්ලියේ පූජකතුමාගේ මෙම ප‍්‍රකාශයත් සමග මෙතෙක් වේලා විශ්වාස කළ තත්වයට යම් වෙනසක් එක් කරයි. සදරැස්ගේ සිත ආදරයෙන් කරුණාවෙන් හා මෛත‍්‍රියෙන් පිරී ඇති නිසා කඵ කුමාරයාට ඔහුගේ සිතට රිංගන්නට නොහැකි බව අවධාරණය කරන්නේ, සිනමාපටයේ මාතෘකාවට ද වෙනත් මානයක අර්ථයක් එක් කරමිනි. ඝර යන්නෙන් අදහස් වන්නේ ගෘහයයි. සරප යනු සර්පයා වන අතර, බොහෝ ආගම් තුළ සර්පයා යනු පාපයට උපමාවකි. එයින් හැඟෙන්නේ නිවස තුළ උපන් පාපයක් නොහොත් සිත තුළ උපන් අයහපත් තත්වයකි. එම තත්වයෙන් මිදීම සදහා ආදරය කරුණාව මෛති‍්‍රය නම් ගුණාංග වලින් හැකියාවක් ඇති බව සදරැස්ගේ චරිතය තුළින් හගවයි. නිවස තුළ එකිනෙකාට ඇති ආදරය සියලූ අයහපත් බලවේගයන්ට එරෙහිව නැගී සිටින බව ඒත්තු ගන්වයි. එනිසා ජයන්තගේ පෙර නිර්මාණයන් සියල්ලගේ සේ ම මෙම නිර්මාණයේදී ද ආදරය නොහොත් ආලය මූලික තේමාව බවට පත් වේ.
ද්‍රෝණ කැමරාවක තනි රූපරාමුවක් ලෙස රූපගත කළ වැව් කණ්ඩියක් මතින් පල්ලිය වෙත ගමන් කරන සදරැස් හිදි ලොරි රථය සහ විද්‍යා ගමන් ගන්නා ෆොක්ස් වැගන් මිනි බස් වෑන් රථය එකින් එක ඉස්සර කරමින් අනෙකා පරයා යාමට උත්සාහ කිරීම, විද්‍යා කෙරෙහි, ඝරසරපගේ කැමැත්ත සහ සදරැස්ගේ ආදරය අතර ගැටුම පෙන්වීමේ සංඥා ලෙස හදුනාගත හැක. නමුත් සදරැස්ගේ ආදරය නිසා ඝරසරප එතැනින් පසු බසී.
වේදිකාවෙන් උරුම කරගත් ජැක්සන් ඇන්තනිගේ අධිතාත්වික රංගනය අග්නිදාහයේ පුංවිරාළ, ගරිල්ලා මාර්කටින් ග්‍රෙගරි මහාධිකාරම් සේ ම ඝරසරප තුළින්ද ජයන්ත ඉදිරියට ගනී. ජැක්සන්ගේ රංගාවේෂය ද ප‍්‍රශස්ත මට්ටමක පවතී. කමල් අද්දරආරච්චි, සංගීතා වීරරත්න, අමීෂා කාවින්දි, දෙව්නක පෝරගේ සහ කාවින්ද්‍යා අධිකාරි තම චරිතයන්ට සාධාරණයක් ඉෂ්ඨ කරතත්, සදරැස් හා විද්‍යා තෝරා ගැනීමේදී සිනමාකරුවාට ඔවුන්ගේ පෙනුම සහ සබදතාව පිළිබද තව අවධානය යොමු වූවා නම් යෙහෙකැයි සිතේ. දෙව්නක පෝරගේ තරමක ලාබාල හා සුරතල් පෙනුමක් මෙන්ම කාවින්ද්‍යා තරමක මේරූ පෙනුමක් ගෙන ඒමපෙනෙන්නට තිබෙන කරුණකි. නමුත් එය සිනමාපටයෙන් ජයන්ත ඉදිරිපත් කරන සංකල්පයට හානියක් නොකරන නිසා ගැටඵවක් නැත.
ජයන්තගේ සෑම චිත‍්‍රපටයකම සහ ටෙලි නාට්‍යයකම පාහේ දැකිය හැකි සුන්දර අවසාන දර්ශනය මෙහිදී ද ඉදිරිපත් වේ. ඝරසරප සිනමාපටයේ අවසාන දර්ශනයේදී මහාචාර්ය සදරැස් සහ වෛද්‍ය දොරේඅප්පාගේ සමුගැන්ම ආකර්ශනීය ලෙස ගෙත්තම් කොට ඇත
.
‘‘මල් පිපෙන මහ කැලය මනරම්- වැසි වැටෙන වැලි කතර සුපසන්- තරු ගිලින කලූ කුහර වුව- පිරිනමයි මිතුදම්’’ අවසන් ගීතය මෙතෙක් දිග හැරුණු සිනමා කාව්‍යයේ සියලූ හැගීම් එක්තැන් කළ අගනා පද මාලාවක් ලෙස හදුනාගත හැක.
අවස්ථාවට ගැලපෙන කැමරා රූප රටා මැවීම, සංස්කරණ ශිල්පීය ක‍්‍රම භාවිතය ප‍්‍රශස්ත මට්ටමක දැකිය හැකි අතර, මහරජ ගැමුණු සිනමාපටයේදී දුර්වල භාවිතයක් වූ විශේෂ දෘශ්‍ය ප‍්‍රයෝග, ඝරසරප තුළදී විශිෂ්ඨ මට්ටමක පවතින බව දැකිය හැක. සමස්ථයක් වශයෙන් සැලකීමේදී මෙම සිනමාපටය ධාවන කාලය පුරා පේ‍්‍රක්ෂාව රදවා ගනිමින් ගමන් කරන විශිෂ්ඨ කෘතියක් ලෙස සැලකීම අතිශෝක්තියක් නොවේ.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන මාපා පතිරණගේ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

Comments
Post a Comment