ත‍්‍රිමාණ තාක්ෂණයෙන් රූගත කළ ශ‍්‍රී ලංකාවේ පළමු සිනමා නිර්මාණය- විජයබා කොල්ලය
1938 වසරේදී ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන් විසින් සම්පාදනය කළ නවකතාවක් ලෙස විජයබා කොල්ලය පාඨකයා අතට පත්විණි. ඔහුගේ නව කතා කිහිපයක්ම සිනමාවට නැගුණේ, ඔහු සතුව තිබූ ආඛ්‍යානය තුළ සිදුවිම් එකනෙක බද්ධව ගලාගෙන යෑමේ සුන්දරත්වය හේතුකොට ගෙනය. කැලෑ හඳ, රදළ පිළිරුව, සිරියලතා, දෙයියන්ගේ රටේ, දෛවයෝගය, හඳපාන, හිගන කොල්ලා සිනමාවට නැගුණු ඒ නවකතා ය. කැලෑ හඳට පමණක් දෙවැනි වූ, විසිපස් වතාවක් මුද්‍රණය කළ විජයබා කොල්ලය, මේ අතරට එකතු වන අලූත්ම නවකතාව යි. පාඨකයා අතට පත් වූ මෙම ඵෙතිහාසික නව කතාව සිනමා පේ‍්‍රක්ෂකයා වෙත ගෙනයෑමේ සොදුරු ආඥාදායකයා වන්නේ, මහාචාර්ය සුනිල් ආරයරත්නයන්. යශෝධරා චිත‍්‍රපටයේ නිෂ්පාදක එච්.ඞී. පේ‍්‍රමසිරි මහතා මෙහිදී ද නිෂ්පාදන කාර්යයෙන් දායක වේ.
නව කතාවේදී ඩබ්ලියු. ඒ. සිල්වා බැඳ තිබූ ඒ සියුම් හුය නොබිදෙන විදිහට ඇතැම් උපාඛ්‍යාන ඉවත් කර මේ පේ‍්‍රම වෘත්තාන්තය හා ඉතිහාසය එකට බද්ධ කර ඇති විජයබා කොල්ලය චිත‍්‍රපටයේ තිර රචනය, තිස්ස අබේසේකයන්ගේ අවසාන තිර රචනයයි. නමුත් ඔහු මෙහි දෙබස් ලියන්නට පෙර අභාවප‍්‍රාප්ත වීම නිසා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් දෙබස් රචනය කළ බව පෙනෙන්නට තිබේ.
විජයබා කොල්ලය යනු, 1505 පරංගීන් ලක්දිව මුහුදුබඩ කොටස් අල්ලාගෙන අවුරුදු 16ක් ඇතුළත එනම් 1521 කෝට්ටේ රාජ්‍යයේ සිදුවූ ඓතිහාසික සිද්ධියක් වන අතර, එහිදී කෝට්ටේ රජුගේ පුතුන් තිදෙන ඔවුන්ගේ පිය රජුට එරෙහිව කැරලි ගසමින් තම පියා මරා දමා රාජධානිය තමන් අතරෙහි බෙදා ගත්හ. සත්වන විජයබාහු රජ හට ඔහුගේ පළමු විවාහයෙන් පුතුන් තිදෙනෙකු වූ අතර ඔවුහූ බුවනෙකබාහු , පරරාජසිංහ සහ මායාදුන්නේ නම් වූහ. රජු දෙවන වරට විවාපත් වූ කිරිවැල්ලේ බිසව හට, ඇයගේ පළමු විවාහයෙන් දේවරාජා නම් පුතකු විය. ඔහුගේ දෙවන බිසවගේ ඉල්ලීම ප‍්‍රකාර, ඔටුන්න හිමි කුමරු බවට දේවරාජා නම් කෙරුමට පිය රජු විසින් තීරණය කර ඇති බව දැනගත් කුමරුවන් රජුට එදිරි වූහ. කුලියට ගත් විදේශිකයෙකු ලවා රජු මාලිගාව තුළදීම ඝාතනය කරවන ලදී. මෙම සිදුවීම හැඳින්වෙන්නේ විජයබා කොල්ලය යනුවෙනි. ඒ ආශි‍්‍රතව සිදුවූ අසංග, නයනානන්ද හා නීලමනීගේ පෙම්කතාව නව කතාවේ මෙන්ම, චිත‍්‍රපටයේද දීප්තිමත්ව නිරූපණය කෙරේ.
පරංගීන් යනු ආගමේ මුවාවෙන් වෙළදාම අරමුණු කරමින්, රටවල් ආක‍්‍රමණය කරන, නමුත් ආගම් ධර්මයේ නොපිහිටන පිරිසකි. එ බව සිනමාකරුවා ඉතාමත් මැනෙවින් ඉදිරිපත් කොට තිබේ. ද ලසර්දාගේ චරිත හැසිරිම තුළින් ඒ බව පැහැදිලි වේ. ඔවුන් හම්දුම්මාට හා නීලමනීට සලකන ආකාරය මනුෂ්‍යත්වයට ගර්හාවකි. නමුත් නොමිනිසුන් අතර මිනිසුන් ඇති බවද නිරූපණය කිරීමට අධ්‍යක්ෂවරයා ගත් උත්සාහය අගය කිරීම වටී. ඒ ආගමේ පූජකවරයාගේ චරිතයෙනි.
අසංග නීලමනී කෙරෙහි දක්වන පේ‍්‍රමයේ වරදක් නිර්මාණයේ කිසියම් තැනෙක විදහා නොදැක්වේ. නමුත් 15 වන සියවසේ ශික්ෂාකාමී සමාජ පරිසරයක හැදී වැඩෙන තරුණියක් වන නීලමනී මෙතෙක් කළක් පෙම් කළ අසංගට වඩා, මොහොතකින් දුටු නයනානන්දට පේ‍්‍රම කිරීම විචාරක දෝෂ දර්ශනයට ද ලක් වේ. නමුත්, සමාජීය විද්‍යාත්මක කරුණු සලකා බැලීමේදී එය එසේ විය හැකිය. නීලමනී රාජ්‍ය නායකයෙකුගේ නිවෙසක් තුළ, සතුරු කරදර බහුල යුගයක ජීවත් වෙන්නීය. ඇය නිවසින් පිටත සමාජයක් සමග සබදතාවක් නොමැත.
නිරන්තරයෙන් දකින අසංගගේ පේ‍්‍රමයට ඇගෑලූකමක් ඇති වුවත්, හදිසියේ හමුවන මදකිපුණු වීර පුරුෂයෙකුගේ බැල්ම කෙරෙහි කැමැත්තක් ඇතිවීම ස්වභාවිකය. ඕනෑම කාන්තාවකට එම හැගීම ඇති විය හැකිය. මනමේ කුමරියට ඇති වූයේ ද එවැනි හැගීමකි. නමුත් සංස්කෘතික සාධාරණත්වය මත සෑම විටම එය ප‍්‍රකාශ නොකිරීම සිදු වේ. නීලමනීට සංස්කෘතික සාධාරණත්වය අවශ්‍ය නොවේ. පවුලේ එකම දියණියගේ අවශ්‍යතාව මත දෙමාපියන් කටයුතු කිරීම වත්මනට ද සාධාරණය. බලය ඇති පියෙකුගේ දියණියක් වීම නීලමනීගේ සිතැගි ක‍්‍රියාත්මක කිරීමට පසුබිම සකස් කරයි. නමුත් පේ‍්‍රමයේ උත්තරීතර බව පසක් වන චරිතයක් ලෙස අසංගගේ චරිතය ක‍්‍රියා කරයි. ඇය නයනානන්දට පේ‍්‍රම කරන බව දැනදැනම ඇගේ සතුට වෙනුවෙන් අසංග, නයනානන්දට පවා උපකාර කරයි. නීලමනීගේ ඇසිපිය හෙළීමේ වෙනසෙහි යථාර්ථය පවා ඔහුගේ තීක්ෂණ ඥානයට වැටහේ.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිය නිර්මාණය සදහා නඵ නිළියන් තෝරා ගැනීමේදී වඩාත් සැලකිලිමත් වී තිබේ. රූපවාහිනී තිරයෙන් නිතර දකින මුහුණු වලින් තරමක් හෝ මිදී, සිනමා නඵ නිළියන් මගින් නිර්මාණය පේ‍්‍රක්ෂක මනසේ රැදවීමට අධ්‍යක්ෂවරයා ගත් උත්සාහය අගය කළ යුතුය. නීලමනී ගේ චරිතයෙන් හමුවන සෙනාලි ෆොන්සේකා, අසංගගේ චරිතයට පණපොවන අෂාන් ඩයස්, නයනානන්දගේ චරිතයෙන් පෙනී සිටින හේමාල් රණසිංහ, ද ලසර්දා චරිතයෙන් හමුවන හාන්ස් බිලිමූරියා, හම්දුම්මා චරිතය නිරූපණය කරන චුලක්ෂි රණතුංගගේ රංගන දායකත්වයන් අති විශිෂ්ඨ බව කිව යුතුය.
ප‍්‍රසන්න වීරක්කොඩිගේ චිත‍්‍ර ඔස්සේ නිර්මාණය වූ චරිතවල ඇඳුම් නිර්මාණය වෙනුක වික‍්‍රමාරච්චි, අංග රචනය හර්ෂ මංජුල, කේශාලංකරණය හරූන් ෂයිඞීන්, දෘශ්‍ය ප‍්‍රයෝග බූඩි කීර්තිසේන, කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්ත, සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ, සටන් අධ්‍යක්ෂණය සුමුදු අමල්ක, සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර, කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප‍්‍රිය, ආදී විෂය ප‍්‍රවීනයින්ගේ දායකත්වය ලැබීම නිර්මාණයේ සාර්ථකත්වයට හේතුවකි.
රූපගත කිරීමේදීම ත‍්‍රිමාණ තාක්ෂණය යොදාගත් ශ‍්‍රී ලංකාවේ පළමු සිනමා නිර්මාණය විජයබා කොල්ලය වීම විශේෂත්වයක්. එසේම සියලූ තාක්ෂණික ක‍්‍රියාකාරකම් ලංකාවේම තාක්ෂණික සහ නිර්මාණ ශිල්පීන්ගේ දායකත්වයෙන් නිම කිරීම ලාංකේය සිනමාවේ අනාගතය පිළිබද සුබවාදී හැගීමක් ජනිත කරයි.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන මාපා පතිරණගේ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

Comments
Post a Comment