ඔවුන් උත්පත්තියෙන් සමාන භාග දෙකක්- නමුත් ඔවුන් විෂමයි.- විෂම භාග
‘‘සංගීත කාමරේට ගිහිල්ල උඹ ගණන් හැදුවද? ගණන් ඉගෙන ගන්න ඕන නෑ. ගෙදර ගිහින් එක ගාණක් හැදුවද? ගණන් හදන්න එපා. සින්දු කිය කියම හිටපං. තෝව දාන්න ඕන හතරෙ පන්තියට නෙමෙයි. තුනේ පන්තියට. පලයං’’ ජ්‍යාමිතික මනසකින් හෙබි ගණිත ගුරුවරයෙකි.
‘‘නිදහස් කරන්න පුඵවන්. කැලේට. සින්දු කියාපුවහම උන්ට කප්රුක පහළ වෙනව කියලද හිතේ.’’ ඔහුගෙන් නොහොබිනා වචන අසමින් වදනකින් හෝ ඊට එරෙහි නොවන සංගීත ගුරුවරියකි. මිනිසුන්ගේ මනසේ ධාරණ ශක්තිය පවතින්නේ රූප සංඥා මගින් හෝ අංක සංඥා මගිනි. රූප සංඥා මත පිහිටන පිරිස් කලාවට සෞන්දර්යයට වැඩි නැඹුරුවක් දක්වන අතර, අංක සංඥාවලින් ධාරණය කරගන්නා අය ගණිතයට විද්‍යාවට වැඩි නැඹුරුවක් ඇති කර ගනී.
එනිසා සාම්ප‍්‍රදායික ගුරු කේන්ද්‍රීය පොදු ඉගැන්වීමේ රටාව වෙනුවට වර්තමානය වන විට දියුණු රටවල සාර්ථකව ක‍්‍රියාත්මක වන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක‍්‍රමය පිළිබදව වැඩි නැඹුරුවක් දක්නට හැක. මෙම සංකල්පය පදනම් කරගනිමින්, ලාංකේය අධ්‍යාපන ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියේ, ගණිත විෂය ඉගැන්වීම යටතේ, පස්වන පන්තියේ භාග ඉගැන්වීම් පාඩමෙහි, විෂම භාග නම් වූ පාඩම හසුකරගනිමින් සමස්ථ අධ්‍යාපන පද්ධතියේම සංකූලතා හෙළිදරව් කිරීම සදහා ප‍්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ලලිත් රත්නායක සිය පෑන සහ කැමරාව මෙහෙයවා තිබේ.
පාසල් වියේ කුඩා දරුවෙකුගේ මනසට විශාල බලපෑමක් කිරීමට වැඩිහිටියකුගේ එක් වචනෙකින් හැකියාවක් ඇත. දෙමාපියන් විසින් දෙන නියෝගයකට වඩා පාසල් ගුරුවරයා ලබාදෙන නියෝගය දරුවෙකුගේ මනසට කම්පනයක් ඇති කරවයි. එය දරුවාගේ දෛනික ජීවිතයට ද එල්ල කරන්නේ දැඩි බලපෑමකි. මානසික ඒකාග‍්‍රතාව මෙන්ම ස්වශක්තිය පිළිබද අවබෝධ කරගැනීමට වැදගත්ම ක‍්‍රමවේද වන්නේ ක‍්‍රීඩාවට හා කලාවට යොමු වීමයි. විද්‍යාව හෝ ගණිතය ප‍්‍රායෝගික තලයේදී කලාත්මකව භාවිත කිරීමට කලාවේ ඇති අවශ්‍යතාව පිළිබදව තවමත් ලාංකේය අධ්‍යාපනය තුළ නිසි සැලැස්මක් නැත. විද්‍යාව, ගණිතය වැනි විෂයයන් සම්මත විෂයයන් බවට පත් කර, සෞන්දර්ය සහ සාහිත්‍ය වැනි විෂයයන් තේරීමකට ලක් කෙරෙන අතුරු විෂයයන් බවට පත් කිරීම තුළ නිර්මාණශීලී මිනිසුන් බිහි කිරීමේ පළමු අංකුරය මුලිනුපුටා දමයි. ලියනාඩෝ ඩාවින්සි වැනි සුප‍්‍රකට චිත‍්‍ර ශිල්පියෙකු ගණිතඥයෙකු වූ බව අධ්‍යාපන බලධාරීන් අවබෝධ කරගත යුතුව ඇත. මෙවන් අධ්‍යාපන ක‍්‍රමයක පවතින විෂය තරගය නිසා දරුවන්ගේ දක්ෂතාවන්ට ඇතිවන අහිතකර බලපෑම හා දක්ෂ දරුවන්ගේ හැකියාව උපන්ගෙයි මරා දැමීම මනාව ඉස්මතු කිරීමට ගත් සෞන්දර්යාත්මක උත්සාහයකි විෂම භාග.
ඈත පිටිසර ග‍්‍රාමීය පරිසරයක හැදී වැඩෙන නිවුන් දරුවන් දෙදෙනෙක් වටා ගෙතෙන මෙම කතාන්දරයේ කමල්සිරි නම් එක් දරුවෙකු ගණිතය විෂයටත්, රුවන්සිරි නම් අනෙක් දරුවා සංගීතයටත් දක්ෂතාවක් දක්වයි. ගණිත ගුරුවරයාගේ දැඩි පීඩනයකට ලක් වන රුවන්සිරිගේ මානසික කම්පනය සිනමාපටයේ සෑම දර්ශනයක්ම ග‍්‍රහණය කරගනිමින් මතු වේ. නමුත් මෙය ළමා සිනමාපටයක් යැයි සදහන් කරනවාට වඩා, ළමා මානසිකත්වය පිළිබදව වැඩිහිටියන් වෙත කෙරෙන ඉ`ගියක් යැයි කීම වඩාත් නිවැරදියි. නමුත් සියල්ලන්ටම බලා රසවිදිය හැකි ආකාරයෙන් පෙළ ගස්වා තිබේ. ගීතයක් හා දෙවරක් ගැයෙන ජන කවියක් අන්තර්ගත වුව ද සරල රසවින්දනයකට පේ‍්‍රක්ෂකයා රැගෙන නොයාම විෂම භාග තුළ දැකිය හැකි විශේෂත්වයක්.
වහින්න වැස්සක් වහින්න
අලූත් වැස්සක්- නැවුම් ලා දලූ පිපෙන්න
ගලන්න- අලූත් වතුරක්
කඩිත්තට තිත්තයින් එන්නට
මිය යන්න වෙර දරන
අතු ඉපල් දලූ ලන්න
හමන්න සුළ`ගක්- නැවුම් සුවදක්
බිගුන් ගී යළි ගයන්න
ගීතය තුළින් මතු කෙරෙන්නේ ද ස්වභාවික පරිසරය හා බැදි මානුෂික පැතුමකි.
යම් යම් විද්වතුන් ඉදිරිපත් කළ කරුණු කටපාඩම් කර, විභාගයට ලියා සමත්වන උගතුන්ගේ සමාජ ඥානය සහ බුද්ධිමත්භාවය පිළිබද සැකයක් මතු කෙරෙන අවස්ථා කීපයක් දර්ශනය වේ. එක් අවස්ථාවක් නම්, ගණිත ගුරුවරයාට දරුවන් ගැන නොතිබූ දයාව හා කරුණාවයි. අනෙක් අවස්ථාව නම් ගණිතයට දක්ෂ දරුවා තුළ මුල් අවස්ථාවේදී තම සොහොයුරා ගැන නොතිබූ දයාවයි. එමෙන්ම රුවන්සිරි තුළ පැවති මානව ගුණයයි. ඔහුට එම ගුණය පිහිටන්නේ තම සීයාගෙන් ලද සාම්ප‍්‍රදායික ඥානය හේතුකොට ගෙනය. පාසල් ගුරුවරයාට නොතේරුණු භාග ඉගැන්වීමේ ක‍්‍රම රටාව, සීයා විසින් ගිරය සහ පුවක් ගෙඩිය මගින් ප‍්‍රායෝගිකව පෙන්නුම් කරයි. ඒ සාම්ප‍්‍රදායික ඥානයේ ප‍්‍රායෝගික තත්වයයි.
සංඥාර්ථ සහ ඉගි මගින් සිනමාරූපී දෘශ්‍ය ව්‍යාකරණයකට අධ්‍යක්ෂවරයා අතපොවා ඇත. වැස්ස නැති වූ සරු නොවූ කෙත් යාය, වැස්ස යදින මහ පොළව, දිය බිඳක් ගෙනෙන්නට යා යුතු දුෂ්කර වූ ගමන් මග ඔහු මනාව රූපයට ගොනුකර ගනී. මානයෙන් උදම්වුණු, ගුරුවරයාගේ පාවහන් වලින් නැගෙන බරැති හඬින් ඇතුළාන්තයෙන් හැකිළුණු බියපත් සිසුවා පමණක් නොව පේ‍්‍රක්ෂකයා ද මොහොතක් සසල වේ. ඔහුගේ අතෙහි තාලයට හැඩවෙන යතුරු සමූහයේ නාදය, මුළු අධ්‍යාපන ක‍්‍රියාවලියේම පිළිබිඹුව වන්නේය. ඔවුන් සදාකාලිකව ඉබි යතුරු ලා එය රකින බවට ඉගියකි ඒ ලබා දෙන්නේ.
ලාංකිකයාට අනන්‍ය වූ, අතීතයේ සිට පැවත ආ, මානව දයාවෙන් යුතු, දරුවාට වඩාත් දැනෙන ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රමවේදය සීයාගේ චරිතය මගින් ප‍්‍රකට කෙරේ. සීයාගේ මළගමදාට පෙර දා දෙසොහොයුරන්ගේ කමිස දෙකෙන් එකක් සුළඟේ ගසා ගෙන යයි. ඒ ඔහු සුදු කමිසය ඇදි රටාවෙන් සමුගත යුතු බවට කෙරෙන සංඥාවක් වැන්න. ප‍්‍රාථමික පන්තිවලදීම පාසල් වලින් දරුවන් ගිළිහී යෑමට හේතුව පිළිබද ඉගියක් එසේ ඉදිරිපත් කරයි.
සිනමාපටයේ තේමාවම අරමුණු කරගත් ගීත සහ සංගීත නාද මාලා, වර්ණ සංයෝජනය, අවම වූ ප‍්‍රබල දෙබස් සහ දැවැන්ත රංගන ශිල්පීන් නිසා, පේ‍්‍රක්ෂාව නිරන්තරයෙන් රදවා ගනිමින් ගලා යාමට රුකුලකි. රුවන්සිරි ගණිත ගුරුතුමා ඉදිරියේ අසරණ වන අවස්ථාවේ පිහිටට එන්නේ, සීයා කියූ කවිය පමණි. එය ද ඉගියකි. එනම්, කලාව හා සාහිත්‍ය තවදුරටත් පාසල් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ තිබිය යුතු බවයි. දැඩි හිතක් ඇති දැවැන්ත චරිතයක් සේ මතු කෙරෙන ගණිත ගුරුවරයා යම් තරමක කැළඹඹීමකට පත් කරන්නේ එම කවියයි. නමුත් විෂම භාග පාඩම නිම කොට හෝ නොකොට, නොතේරුම්කම තිබියදීම, පරිමාව සහ ධාරිතාව පාඩම පටන් ගැනීම තුළ ද, වත්මන් පාසල් ක්ෂේත‍්‍රයේ සමස්ථ වශයෙන් පවතින ගැටඵවක් මතු කර පෙන්වයි.
නමුත් අවසානයේ දරිද්‍රතාවයෙන් පීඩාවට පත්වන දරුවන් දෙදෙනෙකුගේ ලේ බැම්මේ ශක්තිමත්භාවය පෙන්වා දෙයි. කිසිදා හිනාවක් නොනැගි මුහුණෙහි බියපත්, අපේක්ෂාවන් හීන වූ බැල්ම රැුඳි විසල් ඇස්, සැලෙන දෙතොල් පේ‍්‍රක්ෂකයාව අසරණ වූ අනාගතයක රඳවයි. ඔහුගේ එකම පිළිසරණය වූ වියපත් සීයාගෙන් කුඩා පොදු ගුණාකාරය විමසන අවස්ථාවේ පේ‍්‍රක්ෂක ඇසටද කඳුළක් ගලා එන්නේ නිතැතිනි.
සංගීත ගුරුතුමියගේ සහ රුවන්සිරිගේ චරිතයෙන් ඉස්මතු වන තවත් ලක්ෂණයක් වන්නේ, යහපත් කලාකරුවා ප‍්‍රශ්ණ පෙන්වා දෙන, තර්ක නොකරන, අවලාද නොනගන, විසඳුම් ලබා නොදෙන කෙනෙකු බවයි. ඇය හා ඔහු ගැටළු ළිහන්නට යන සියල්ල දත් කෙනෙක් නොවේ. නමුත් තම කලා කෘතියෙන් කියන්නට යන දේ පිළිබඳව ඇහුම්කම් දෙන්නන් රැුසක් තමා වටා ගොනු කර ගනී. වහින්න වැස්සක් ගීතය ගායන මොහොතේ ඒ වටා රැුස්වන පිරිසෙන් එය පිළිබිඹු කෙරේ. නමුත් වකුගඩු රෝගය පිළිබ`ද පිළිබිඹුව ප‍්‍රස්තුථ මාතෘකාවට අනවශ්‍ය ලෙස එල්ලීමකි. එය තව සානුකම්පිත ලෙස එක්කළ හැකිව තිබිණි.
ජැක්සන් ඇන්තනි, කෞශල්‍යා ප‍්‍රනාන්දු, හේමසිරි ලියනගේ, ප‍්‍රියන්ත සිරිකුමාර වගේ ප‍්‍රවීණ රංගන ශිල්පීන් සේම, තිලක්ෂ රත්නායක, පන්සිළු වික‍්‍රමරත්න සහ පංකජ වික‍්‍රමරත්න නිවුන් ළමා රංගන ශිල්පීන් දෙදෙනා විශිෂ්ඨ දක්ෂතාවෝ පෙන්නුම් කරති.
චීනයේ ෂැංහයි අන්තර්ජාතික උලෙළේ හොඳම තිරරචනය සහ හොඳම නළුවාට හිමි සම්මානය හිමිකර ගනිමින්, අන්තර්ජාතික සම්මාන උලෙළ රැුසකදී සම්මාන 70ට අධික සංඛ්‍යාවක හොඳම ප‍්‍රථම සිනමා අධ්‍යක්ෂණය, සහාය නිළිය, සහාය නළුවා, ළමා නළුවා, කැමරාකරණය, සංස්කරණය, ශබ්ද සැලසුම්කරණය, තිරරචනය ආදී අංශවලින් ජයග‍්‍රහණය ලබා, ගෝවා අන්තර්ජාතික සිනමා උලෙළේදී, මුළු ලෝකයම තරගවදින ආසියාවේ ආත්මය ලෙස තෝරා ගන්නා චිත‍්‍රපට හතෙන් එකක් බවට පත් වීම, විෂම භාග ලත් ජයග‍්‍රහණයක් ලෙස සදහන් කළ හැකිය. එමෙන්ම චාමර රුවන්තිලකගේ විශිෂ්ඨ සංගීතයට කැනඩාවේ මොන්ට‍්‍රියල් Wreath Awards සිනමා සම්මාන උලළේදී හොඳම සංගීතයට හිමි සම්මානය ලබා ගැනීම ශ‍්‍රී ලංකාවට ගෞරවයක්.
නිවැරදි දැක්මක් යටතේ, බිම් මට්ටමේ සිට ඉහළම අධ්‍යාපන පරිපාලනය දක්වා, යහපත් ආකල්ප වලින් සරු, කොඳු ඇට පෙළක් ඇති, පරම්පරාවක් බිහිකරන්නට ගුරුවරුන්ට, දෙමාපියන්ට, සමස්ථ සමාජයටම කෙරෙන ආමන්ත‍්‍රණයකි, ‘‘විෂම භාග’’. දරු සිත නොරිදන ගුරු පරපුරක් වෙනුවෙන්- ගුරු සිත නොරිදන දරු පරපුරක් වෙනුවෙන්- දරු ගුරු දෙගුරු සැමට ඔසුවකි. ‘‘විෂම භාග’’
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන මාපා පතිරණගේ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

Comments
Post a Comment