ගණිතයට තාල එක් කළ තාල
පවුලේ සියලූ දෙනාට එකට හිද සිනමාපටයක් බැලීමේ හැකියාව නොමැති යුගයක් පසු කරගෙන ආ ශ‍්‍රී ලාංකේය සිනමාව, අද වන විට සිනමා සාක්ෂරතාව යම් මට්ටමකින් දියුණු කරගෙන ඇතැයි පැවසීම මුසාවක් නොවනු ඇත. සිනමාව යනු සමාජ යථාර්ථය පිළිබිඹු කරන මාධ්‍යයක් වුව ද, සමාජයේ යම් යම් ආකල්ප වෙනස් කිරීමේ හා නිර්මාණය කිරීමේ හැකියාවෙන් පරිපූර්ණ බව ද කිව යුතුය. කද දකුණු ඉන්දියාවෙනුත් හඩ ලංකාවෙනුත් පෝෂණය වී ආරම්භ වූ අනුකාරකවාදී ලාංකේය සිනමාව, පනහ දශකයෙන් පසු දේශීයත්වය, දේශ මාමකත්වය පදනම් කරගෙන සිනමාවට අතපෙවීය. හැටේ දශකයේදී ආරම්භ වන තාරුණ්‍යයේ නැගිටීම හැත්තෑව දශකය වන විට විවෘත ආර්ථිකය හා පොර බදින තාරුණයාගේ චිත්ත සන්තානය පිළිබිඹු කරන්නට සමත් විය. එහි ඡායා මාත‍්‍ර ලක්ෂණ අසූව දශකය පුරා විහිදී පැවතිය ද, අනූව දශකය ආරම්භ වන්නේ ම සිල්ලර කාමාග්නිය පදනම් කරගත් නිල් චිත‍්‍රපට රැුල්ලකිනි.
දෙදාහ වසර පමණ වන විට ආරම්භ වන සම්භාව්‍ය චිත‍්‍රපට උළෙලවල් අරමුණු කරගත් සිනමා රැුල්ල විවිධ තේමාවන් ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය විය. මේ අතර කොළඹ අභිබවා ගිය ගමේ පාසල වෙත පේ‍්‍රක්ෂක ආකර්ශණය යොමු කරමින් ආරම්භ වූ සිනමා රැුල්ලක් හෝ ගානා පොකුණ, පහ සමත්, ගෝල්, හීන හොයන සමනල්ලූ, තාල සහ විෂම භාග ලෙස පුලූල් තිරය අභිමුවට පැමිණියේය. ගමේ සම්ප‍්‍රදායන්ගේ ඇති වටිනාකම්, නගරයට වඩා එහාගිය මනුස්සකම් පිරි ගම, සහයෝගයෙන් යුතු නිර්ව්‍යාජී මිනිසුන් මේ සිනමා කෘති පුරා මහත් වටිනාකමක් මතු කරන ලදී.
ලොකු ඉස්කෝලෙ මහත්තයෙක් වෙලා ගමට නැවත එන ලෙස කියා පිටිසර ගමෙන් නගරයේ විශ්වවිද්‍යාලයට එන බොහෝ තරුණ තරුණියන්ගේ මනස නැවත ගම වෙත යොමු නොවන යුගයක, ගමෙන් නගරයට ගොස් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරා නැවත ගමක පාසල වෙත පැමිණෙන පාසල් ගුරුවරුන්ගේ උනන්දුව හා කැපවීම, සමාජ යථාර්ථය පිළිබිඹු කිරීමේ සිනමා කෘතියකට වඩා සමාජයට ආදර්ශයක් දීමේ පෙර මග දැක්මකි.
තාල චිත‍්‍රපටය නිදසුන් වශයෙන් ගෙනහැර බැලීමේදී, උදාසීන සහ අකුරට කම්මැලි ළමයි රොත්තක් සිටීම ඇත්තකි. නමුත් ගමේ පාසලේ එවැනි තත්වයක් තිබිය හැක. අධ්‍යාපනයේ වැදගත්කම ගමේ දරුවන්ට පහදා දෙන තෙක් එය නොවටිනා තත්වයකි. පහදා දුන් විගස සියල්ල අභිබවමින් අරමුණ කරා දුවයි. දුෂ්ඨ සහ පසුගාමී ගුරුවරුන්ද ග‍්‍රාමීය පාසල් තුළ වේ. සේවයට සරිලන වැටුපක් නොමැති තැන වෙනත් මාර්ග වලින් තම දිවි පෙවෙත සරි කරගන්නට කරන වෑයමේදී එවන් තත්වයක් ඇති විය හැක. නගරයේ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ගමට පැමිණෙන ගුරුවරයා තාරුණ්‍යයේ ජවය ද සමග අධිශ්ඨානශීලීව තම හැකියාවන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් යොදවයි. තාල චිත‍්‍රපටයේ අසේල පැමිණෙන්නේ පාසලේ ගණිත ගුරුවරයා ලෙසය. ඔහු නව අධ්‍යාපන ක‍්‍රමවේදයන් ඇසුරින් ගණිතය ඉගැන්වීම කරයි.
සෞන්දර්යයෙන් ගණිතය විද්‍යාව වැනි විෂයයන් වෙන් කර තැබීම පවතින අධ්‍යාපන රටාවේ ඇති විශාල පසුබෑමකි. සංවර්ධනය වූ බොහෝ රටවල දරුවන්ට තම හැකියාව සහ අරමුණ මත පිහිටා විෂයයන් තෝරා ගත හැක. උදාහරණයක් ලෙස එක්සත් රාජධානියේ දරුවෙකුට පාලම් නිර්මාණය කරන ඉංජිනේරුවෙකු වීමට අවශ්‍ය නම්, ඔහුගේ අවශ්‍යතාවය මත උසස් පෙළ සදහා ගණිතය, චිත‍්‍ර සහ භූගෝල විද්‍යාව විෂයයන් තෝරාගැනීමේ හැකියාව පවතී. ගණිතයෙන් ගණනය කිරීමේ හැකියාවත්, චිත‍්‍ර මගින් නිර්මාණශීලී ආකෘති ඇදීමේ හැකියාවත්, භූගෝල විද්‍යාව මගින් පසේ සහ පරිසරයේ පිහිටීම හදුනාගැනීමේ හැකියාවත් ඔහු තුළ වර්ධනය වනු ඇත. ලෝ ප‍්‍රකට චිත‍්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්සි තම ගණිතමය ආකෘති ඉදිරිපත් කිරීමට චිත‍්‍ර යොදා ගන්නේ, චිත‍්‍ර විෂයෙන් තොර ගණිතයක් හෝ ගණිතමය හැකියාවකින් තොර චිත‍්‍රයකුත් නැති බව පසක් කරමිනි. ගෘහ නිර්මාණ ශිල්පියාට ගණිත හැකියාවත්, ගණනය කර නව ආකෘතියක් ගොඩ නැගීමට චිත‍්‍ර හැකියාවත්, චිත‍්‍රයට අවශ්‍ය ඇගිලි වල රිද්මය ගැනීමට නර්තන හැකියාවත්, නර්තනය අවශ්‍ය තාල ගැනිමට සංගීත හැකියාවත් අත්‍යාවශ්‍ය ය. එවන් මොහොතක ගණිතය සහ තාල අතර අත්‍යාවශ්‍ය සම්බන්ධය මතු කරන තාල චිත‍්‍රපටය දාර්ශනික එළඹීමක් ලෙස හදුනාගත හැක.
ගල් තලා වල, වැව් තාවුළු වල අත්පොඩි තලමින්, සාමූහික ක‍්‍රියාකාරකම් වල යෙදෙන දරුවන් දැකිය හැකි වීම මෙම චිත‍්‍රපටයේ පවතින දුර්වලතාවක් ලෙස යමෙක් කරුණු සදහන් කළ ද, පන්ති කාමරය තුළ ම අධ්‍යාපනය ලැබීමේ ක‍්‍රමවේදය අද වන විට යල් පැන ගිය සංකල්පයක් බව කිව යුතුම ය. අන්තර්ජාලය තුළ ක‍්‍රියාත්මක වන විද්‍යුත් ඉගැනුම් ක‍්‍රමවේදය, තම අවට පරිසරය ආශි‍්‍රතව ඉගෙනීම සහ මුල් අධ්‍යාපනය මව්බසින් ලබාදීම යුරෝපීය රටවල අනිවාර්ය අධ්‍යාපනික ක‍්‍රමවේදයක් වී තිබේ. එය නිර්මාණශීලී නව චින්තකයෙකු බිහි කිරීමේ මාර්ගයකි. එසේ නොමැති වුවහොත් විදේශයන්ට පවා බත සැපයූ කෘෂි කාර්මික දේශයක් වූ ලාංකේය දරුවන්ට ගොයම් කැපීම, වේදිකාවේ රගන නර්තනයෙන් පමණක් දැකීමට හැකි වනු ඇත.
‘‘මඬේ හිටවූ ඉන්නක් මෙන් වැනෙන විදුහල්පතිවරයෙක් සිටීම ද, අසේල සර් ගුරු මේසයේ හැරෙන්නට එකදු අවස්ථාවක හෝ ගුරු පුටුවේ වාඩි වීම හෝ නොවීම ද, ඔහු පාසලට අඳින්නේ ට‍්‍රැක් බොටම් සහ ටී ෂර්ට් වීම ද, අමරාවතී ටීචර් රාහු කාලය සහ, නැකැත් විශ්වාස කිරීම ද, නිධන් ගැනීම වෙනුවෙන් පාරක් හදන ලීලාවෙන් පාසල කඩා දැමීමට සැරසීම වැනි සිදුවීම් ද, අවසානය වන විට එරන්දතී දිවිතොටවෙල ගුරු පත්වීමක් සමග පාසලට ඒම ද, ඈ උගන්වන්නේ ගල්තලාවක් මත තබාගත් පියානෝවක ස්වර වැයෙන ආකාරය වීම’’ ද, වැනි පටු කරුණු අදාළ කරගත යුතු නැත.
සී. ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතාට පින්සිදු වන්නට ඇරඹි නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරූ විද්‍යාර්ථීන්ගේ අවශ්‍යතාව වර්තමානය වන විට ග‍්‍රාමයන්ට දැනී ඇත. ඔවුන් නැවත ගම්බිම් වෙත යවා ගම දැනුමෙන් සන්නද්ධ කළ යුතු කාලය එළැඹ ඇත. හෝ ගානා පොකුණ, ගෝල් මෙන්ම තාල චිත‍්‍රපට ඒ සදහා පෙරගමන්කරුවන් වනු ඇත.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන මාපා පතිරණගේ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

Comments
Post a Comment