අදූර් ගෝපාල් ක‍්‍රිෂ්ණන්ගේ - ස්වයංවරම්

ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ ප‍්‍රකට සිනමාකරුවෙක් වන අදූර් ගෝපාල් ක‍්‍රිෂ්ණන්ගේ සිනමා භාවිතය තුළ 1972 දී, හොදම අධ්‍යක්ෂණය, හොදම චිත‍්‍රපටය, හොදම කැමරාකරණය හා හොදම නිළිය යන අංශ සදහා ජනාධිපති සම්මානය දිනා ගන්නා ලද ඔහුගේ "ස්වයංවරම්" චිත‍්‍රපටය වැදගත් වේ. සත්‍යජිත් රායි "පාතර් පංචාලි" තුළින් බෙංගාලි සිනමාව ජගත් සිනමා සිතියමෙහි සළකුණු කලාක්, මෙන් ස්වයංවරම් තුළින් අදූර් කේරළ සිනමාව සටහන් කරමින් ජගත් අවධානය ග‍්‍රහණය කර ගන්නට සමත් විය. 


චිත‍්‍රපටය ආරම්භ වන්නේ බස්රියක ඇතුළත දර්ශනයකිනි. මුල් දර්ශනයේදී ම මගීන් අතර සිටින විශ්වම් හා සීතා රූපයට හසු වේ. ඔවුන් රහසින් පැන යන පෙම්වතුන් යුවළකි. තමාට දකින්නට, අසන්නට ලැබෙන අඵත් දේ සීමා රහිත ලෙස ඇගේ සිත් ගන්නා බව පෙනේ. විශ්වම් ද සතුටින් සිටින නමුත් අනාගතය පිළිබද අවිනිශ්චිත භාවයක් ඔහු තුළ ද දැවටෙන බව පෙනේ. පේ‍්‍රමයෙන් දීප්තිමත් වූ දින කීපයක් හෝටලයේ ගෙවී යයි. වියදම් අඩු හෝටලයක ලැගුම් ගැනීමට ඔවුන් දෙදෙනා ම යති. අපිරිසිදු කුඩා කාමරයක් ඔවුන්ට ලැබේ. ඒ අවට බේබද්දන් සිටින කලහකාරී පරිසරයකි. ඔවුන් එතැනින් ඉවත්ව කුඩා ගෙයක නැවතීමට යයි. කුඩා සහල් කඩයක් පවත්වාගෙන යන ජානකී අම්මා ඔවුන්ට උපකාර කරයි. හොර බඩු ගෙන්නනෙකු වූ වාසු හා ඔහුගේ හිතවත් කල්‍යාණි නම් ගණිකාව ද ඔවුන්ගේ අසල්වැසියන් වේ. 

විශ්වම් තමන් ලියූ නව කථාවක් කොටස් වශයෙන් පළ කිරීම සදහා සතිපතා ජනප‍්‍රිය සගරාවකට ගෙන යන නමුත් සංස්කාරකවරයා එය බොළද එකක් යැයි බැහැර කරයි. ඉන්පසු ඔහුට ටියුටරියක ඉගැන්වීමේ අවස්ථාව ලැබේ. වරක් ටියුටරි හිමියා ඔහුව අවන්හලකට කැදවාගෙන යන ගොස් ඔහුට සිහි නැතිවන තෙක් මත්පැන් පොවයි. කිසිදු ආහාර ද්‍රව්‍යයයක් ගෙදර නොමැති බව ඔහුට මතක් වන්නේ ගෙදර ආ පසුයි. සීතා හැඞීමට විශ්වම් පසුතැවිලි වෙයි. මුදල් පිළිබද ප‍්‍රශ්ණ මතු වී ටියුටරිය වසා දමයි. සීතා දැන් ගැබිණියකි. ලී මෝලක සුඵ ලිපිකාර තනතුරක් ලබා ගැනීමට ඔහුට හැකි වෙයි. ඔහුගේ බිළිදා ද මෙලොව එළිය දකී. ලී මෝලේ ඔහුගේ සහෝදර සේවකයෙකු වූ කනක්කපිල්ලේ මේ දිනවල ගිලන් වූයෙන් විශ්වම් ඔහුට ද උවටැන් කරයි. ඒ රෝගයට විශ්වම් ද බිලි වේ. සීතා බිම වැතිරී සිටී. ඇය අසල වූ ඇද හිස් ය. ඇයට දෙමව්පියන් වෙත යන ලෙස ජානකී අම්මා කියයි. එය ප‍්‍රතික්ෂේප කරන ඇය එහිම නැවතී ජීවත් වන්නට ඉටා ගනී.

"ස්ව තෝරා ගැනීම" යන අරුත දෙන ස්වයංවරම් හි ආරම්භයේ දී සීතා, විශ්වම් සමග ජීවත් වීමට තීරණය කර රහසින් පැන යයි. චිත‍්‍රපටය අවසානයේදී ඇය යළිත් තෝරා ගැන්ම පිළිබ`ද සන්ධිස්ථානයකට එළඹෙයි. ඒ අතරතුර වූ සීතා හා විශ්වම් ගේ ජීවන වන චාරිකාව මවාගත් සිහින ලෝකයක සිට ප‍්‍රකෘති කර්කශ යථාර්ථය දක්වා සංක‍්‍රමණය වන්නකි. ඔවුන් දෙදෙනාම ඔවුන්ට උරුම පවුල් රටාවෙන් බැහැර වෙති. මෙම හුදෙකලාවීම ඔවුන් දෙදෙනාගේ ජීවන අරගලය වඩාත් දුෂ්කර එකක් බවට පත් කළේය. ඔවුන් මුහුණ දුන් යථාර්ථය වේගයෙන් පරිහානියට පත් වී ගෙන යන සමාජයක් ඉදිරිපිට වඩාත් පීඩාකාරී එකක් විය.

සිහිනය හා ප‍්‍රකෘතිය, පේ‍්‍රමය සහ පේ‍්‍රමය දෙදරා යාවී දැයි ඇතිවන බිය, ලෞකික අවශ්‍යතා හා මුදල් අහේනිය නිසා ඇති නොහැකියාව අතර ඔවුන් දෙදෙනා මුහුණ දෙන ගැටළු තුළින් මනුෂ්‍යයාගේ අධ්‍යාත්මය පමණක් නොව, සමස්ත සමාජයේ අභ්‍යන්තර සෝදාපාළුව පේ‍්‍රක්ෂකයා ඉදිරිපිට දිගහැර පෙන්වයි. එය මධ්‍යම පන්තියේ සමාජ ආර්ථික උද්ධමනය නිරාවරණය කොට පෙන්වනු ලැබූවක් විය. විශ්වම් සාහිත්‍යයට ලැදි පුද්ගලයෙක් වුවද එම ක්ෂේත‍්‍රය ඔහු වැන්නකුට ඉඩක් නොදෙයි. ටියුටරියද කුට ව්‍යාපාරයකි. යම්තම් හෝ දිවි පෙවෙත ගැට ගසා ගැනීම පවා දුෂ්කර කාර්යයක් වෙයි. ලී මෝලේ ඔහුට ලැබෙන්නේ වෙනත් අයෙකුට අහිමි කරන ලද සුඵ තනතුරකි. එය ඔහුගේ හෘද සාක්ෂියට මහත් වධයක් වෙයි. එම රැුකියාව ම අවසානයේ දී ඔහුගේ ව්‍යසනය බවට පත් වෙයි. චිත‍්‍රපටයේ අවසානය විවෘත එකකි. සීතාගේ අනාගතය අවිනිශ්චිත ය. සම්මත සදාචාරයට පටහැනි ජීවිතයක් ගත කරන වැන්දඹුවක් වන ජානකී අම්මා සීතා විසින් තෝරා ගත යුතු අනාගත ගමන් මග ඉගි කරන සංකේතයක් වැනි ය.

ගෝපාල ක‍්‍රිෂ්ණන් ස්වයංවරම් සදහා භාවිතා කළේ ඉතා සරල භාවාතිශය නොවූ ආඛ්‍යාන ශෛලියකි. ඔහු චිත‍්‍රපටය ආරම්භ කරන්නේ විශ්වම් හා සීතා නිවෙස් වලින් පිටත්ව කුඩා නගරයක් දක්වා ගමන් කරන බස් රථයක, ඉතාමත් දීර්ඝ කාලයක් තිස්සේ තිරයේ රදවාගෙන සිටින අභ්‍යන්තර දර්ශනයකිනි. සංවාද භාවිතා කිරීමෙන් තොරව හඩ පමණක් භාවිතා කිරීමෙන් ඔවුන් රහසින් පැන යන පෙම්වතුන් යුවළක් බව අවබෝධ වීමට සලස්වයි. එම දර්ශනය මදක් සිහිනයකට ආසන්න ය. එය පසුව ක‍්‍රම ක‍්‍රමයෙන් බියකරු යථාර්ථය වෙත පරිවර්තනය වෙද්දී චිත‍්‍රපටයේ රිද්මයත්, ඔවුන්ගේ ප‍්‍රකාශිත හැගීම් හා ඉරියව් ද ඒ අනුව වෙනස් වෙයි.
මදුරාසියේ අදියාර් චිත‍්‍රපට ආයතනයේ සිනමා ඡායාරූපකරණය පිළිබදව උපාධිධරයෙකු වූ රවි චර්මාගේ කඵ සුදු ඡායාරූපකරණය චිත‍්‍රපටයේ ප‍්‍රස්තුතය සමග මනාව පෑහී තිබිණ. අදුර්ගේ පසුකාලීන චිත‍්‍රපටයන් හි ද ඡායාරූප ශිල්පියා වූයේ චර්මා ය. ස්වයවරම් හි ගීත කිසිවක් ඇතුළත් නොවූ අතර, සංගීතය ද චිත‍්‍රපටයේ තේමාව උද්දීපනය කිරීම සදහා පමණක් භාවිතා විය. එකම තේමා සංගීතය මද වෙනස්කම් සහිතව ද, ඇතැම් තැන්හි පුනරුක්තියෙන් ද භාවිතා විය. 

මෙම කෘතිය නිර්මාණය වූ යුගයේ මලයාලම් සිනමාව හා සාපේක්ෂව සසදන කල එය අපූර්ව නිර්මාණයක් වූ අතර, කේරළ සිනමාවේ ප‍්‍රධාන සන්ධිස්ථානයක් විය. විශේෂයෙන් කාන්තාවක් මුහුණ දෙන ප‍්‍රශ්ණ පිළිබදවත්, ගතානුගතිකත්වයෙන් හා සම්ප‍්‍රදායික බවෙන් මිදුණු ගති පැවතුම් රටා දෙසත් සංස්ථාපිත තහංචි ඉක්මවා හෙලූ යථාර්ථවාදී දෘෂ්ටියකින් හුවා දැක්වීම ස්වයංවරම් හි දක්නට ලැබිණි. මෙම කෘතිය තුළින් මතු වූ ඇතැම් ලක්ෂණ ඔහුගේ පසුකාලීන කෘතීන් තුළින් වඩාත් වර්ධිත ස්වරූපයක් ගත්තේ ය.

අදූර් ගෝපාල ක‍්‍රිෂ්ණන්ගේ චිත‍්‍රපට කතකලි, ආගමික පූජෝත්සව ආදියෙන් පෝෂණය ලත් කේරළ සංස්කෘතිය හා දැඩි ලෙස බැදි තිබුණ ද, ඒ තුළින් පැන නගින විශ්ව ව්‍යාපි හා සර්වකාලීන මානුෂික අත්දැකීමකින් යුක්ත ය. ඔහුගේ භාවාත්මක හා අන්තර්ධ්‍යාන ප‍්‍රවේශය පේ‍්‍රක්‍ෂකයාට ඉතා පුළුල් ජීවන අත්දැකීමක් ස්පර්ශ කරන්නට මග පාදයි. වර්ණය ප‍්‍රස්තූතයට උචිත ආකාරයට හසුරුවා ගැනීම, හඬ පටය නිර්මාණාත්මකව භාවිතා කර ගත හැකි සිනමාකරුවෙක් ඉන්දීය සිනමාව තුළින් සොයා ගැනීම උගහට ය. චිත‍්‍රපට කතා රචක හා තිර රචක තමා වීම ඔහුගේ චිත‍්‍රපටවල විශේෂ ලක්‍ෂණයකි. නව ඉන්දීය සිනමාව තුළ ඔහු විසින් ඉටුකර ඇත්තේ ඉතා පුළුල් මෙහෙයකි. මේ නිසා ගෝපාල ක‍්‍රිෂ්ණන් ගේ සිනමාව අද ජගත් සිනමා විචාරකයන්ගෙත්, සිනමාකරුවන්ගේත්, ප‍්‍රබුද්ධ රසිකයන්ගේත් තියුණු අවධානයට හසුවී ඇත.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන මාපා පතිරණගේ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

Comments

Popular posts from this blog

ත‍්‍රිමාණ තාක්ෂණයෙන් රූගත කළ ශ‍්‍රී ලංකාවේ පළමු සිනමා නිර්මාණය- විජයබා කොල්ලය

උං ඝරසරප කිව්වට මගේ නම කඵ කුමාර- ඝරසරප

ඔවුන් උත්පත්තියෙන් සමාන භාග දෙකක්- නමුත් ඔවුන් විෂමයි.- විෂම භාග