බිහිසුණු ඇසිඞ් ප‍්‍රහාරයන්ට එරෙහිව සටන් වදින- චපාක් (Chhapaak)
සුප‍්‍රසිද්ධ ලේඛිකාවක් හා සිනමා අධ්‍යක්ෂවරියක් වන මේඝ්නා ගුල්සාර්ගේ නිර්මාණ අතර බුද්ධිමත් මාවතකට පේ‍්‍රක්ෂකයා රැගෙන යන විශිෂ්ඨ සිනමා කෘතියක් වන්නේ චපාක් නිර්මාණයයි. ඉන්දියානු සමාජයේ නිරන්තරයෙන් සිදුවන ඇසිඞ් ප‍්‍රහාරයන්ට ලක්වන කාන්තාවන්ගේ ඉරණම පිළිබද සංවේදනාත්මක හෙළිදරව්වක් චපාක් තුළින් මතු කෙරේ. 2005 දී බිහිසුණු ඇසිඞ් ප‍්‍රහාරයකින් පිළිස්සී දිවි ගලවා ගත් නවදිල්ලියේ පහළොස් හැවිරිදි දැරියක වන ලක්ෂ්මි අගර්වාල්ගේ සැබෑ ජීවිත කතාව සිනමාපටයක් මගින් ඉදිරිපත් කිරීමට බලපත‍්‍රයක් ලබාගත් ගුල්සාර්, සම ලේඛිකා ආටිකා වොහාන් සමග ඇගේ කථාව තිරයට රැගෙන එයි. මෙහි ප‍්‍රධාන චරිතය වන අගර්වාල්ගේ චරිතය මෝල්ටි ලෙස හදුන්වා දෙන අතර, දීපිකා පදුකෝන් ඇගේ චරිතයට රංගනයෙන් දායක වේ.
අර්ගවාල්ගේ කතාවේ සාරය එලෙසින්ම පවත්වා ගනිමින් නම් ගම් සහ වයස ආදී සැබෑ තත්වයන් තරමක් වෙනස් ආකාරයෙන් ඉදිරිපත් කරන චපාක් ආරම්භ වන්නේ 2012 දී දිල්ලියෙහි සමූහ දූෂණයට ගොදුරු වූවන්ට සාධාරණය ඉටු කළ යුතු බවට කෙරෙන උද්ඝෝෂණයකිනි. එහිදී උද්ඝොෂණකරුවන්ට පොලීසිය පහර දෙන අතර, එක් මිනිසෙකු රූපවාහිනී කැමරාවක් ඉදිරිපිට ඇසිඞ් ප‍්‍රහාරයකට ලක් වූ තරුණියකගේ ඡායාරූපයක් තබාගෙන සිටී. කැමරාකරු රාමුවෙන් පිටතට යන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටී.
ඇසිඞ් ප‍්‍රහරවලට ලක්වූවන් මුදවා ගැනීම පිළිබද සංවිධානයක් පිහිටුවාගත් අමෝල් (වික‍්‍රන්ට් මැසේ) නම් තරුණයා පැමිණ එම මිනිසාව කැටුව යයි. ඒ අතර මෝල්ටි රැකියාවක් සොයාගැනීමේ අරමුණින් බොහෝ තැන්වලට ගොස් ප‍්‍රතික්ෂේප වන්නේ ඇසිඞ් ප‍්‍රහාරය නිසා ඇගේ මුහුණේ ඇති වූ විකෘතිතාවය හේතු කොටගෙනය. මාධ්‍යවේදිනියක් හරහා අමෝල් හදුනාගන්නා මෝල්ටි, ඔහුගේ සංවිධානයේ ප‍්‍රධාන තනතුරකට අනුයුක්ත වේ. මෝල්ටිගේ තත්වය නිසා අසරණ තත්වය පත් තම පවුල නංවාලීම ඇයගේ ප‍්‍රධාන අභිප‍්‍රාය වී තිබිණි. නමුත් අමෝල් හදුනාගැනීමත් සමග ඇය ඇසිඞ් ප‍්‍රහාරවලින් දිවි ගලවා ගත් අනෙකුත් අයට උපකාර කිරීම තම අභිප‍්‍රාය කරගනනා අතර, ඉන්දියාවේ ඇසිඞ් අලෙවිය තහනම් කිරීම වෙනුවෙන් සහ ඇසිඞ් ප‍්‍රහාරකයින්ට නිසි දඩුවම් දීම වෙනුවෙන්, ඉන්දියානු නීතිය වෙනස් කිරීමට අරගල කරන්නියක් බවට පත් වේ.
එම වර්තමාන කතාව තුළින් ආරම්භ වන සිනමාපටයේ අතීතාවර්ජන සිදුවීම් මගින් මෝල්ටි තරුණියට වූ අපරාධය සහ ඇයගේ වෙහෙසකර සුවය සිහිපත් කරයි. ඇගේ පවුලේ මිතුරෙකු වන බෂීර් ඛාන් (විශාල් ඩහියා) ගේ ආදර හැගීම් ඇය විසින් ප‍්‍රතික්ෂේප කිරීම නිසා ඔහු විසින් මෙම ප‍්‍රහාරය සැලසුම් කර තිබිණි. නීතියේ පිහිට පතා මෝල්ටි, ඛෂීර් ඛාන්ට විරුද්ධව උසාවිය ඉදිරියේ පෙනී සිටින්නේ ඇසිඞ් ප‍්‍රහාරයට ලක් වන සමස්ත ඉන්දියානු කාන්තාවන් වෙනුවෙනි.
ඉන්දියානු සුපිරි තරුවක් වන දීපිකා පදුකෝන් ඇගේ බහුවිධ නිරූපණ හැකියාවේ ශක්තිමත්භාවය මෝල්ටිගේ චරිතයට එක් කරන්නීය. මෝල්ටිගේ අධිෂ්ඨානය හා ඇයගේ ආත්ම වටිනාකම මතු කිරීමේදී ඇය හෝ ගුල්සාර් හෝ අනවශ්‍ය හෘද ස්පන්දනවලට යොමු නොවෙති. ඒ අතරම ඇය තම චරිතයට බෝවන හාස්‍යය සහ තිත්ත රළු බව මනාව හසුවන්නීය. විශේෂයෙන් අමෝල් සමග ගනුදෙනු කරන විට, ඔහු කෙරේ තම සිත තුළ පවතින පේ‍්‍රමය මුවින් නොකියා හැගීම් වලින් පිළිබිඹු කරන ආකාරය සහ රංගනයෙන් දායක වන ඇසිඞ් ආබාධිත සැබෑ ජීවිත ගත කරන කාන්තාවන් සමග අන්තර් ක‍්‍රියා කරන විට (විශේෂයෙන් දුම්රිය ගමනේදී) දක්වන දායකත්වය පැසසිය යුතුය.
සමකාලීන ඉන්දියානු සිනමාවේ දැකිය හැකි, වඩා හොඳ හෝ වඩා නරක ඉදිරිපත් කෙරෙන චිත්තවේගීය හා ශෛලීය අන්තයන් ඉතා සූක්ෂම ලෙස මගහරින ගුල්සාර් ඇගේම ශෛලියක් තුළ චරිත පෙළගස්වයි. උදාහරණ වශයෙන් මෝල්ටිට ඇසිඞ් ප‍්‍රහාරය එල්ල කරන තිස් හැවිරිදි බෂීර් ඛාන් පිළිබදව පවා තරමක සානුකම්පිත තත්වයක් මවා පායි. බෂීර් ඛාන්ගේ චරිතයට රංගනයෙන් දායක වන විශාල් ඩහියාගේ මුහුණ සහ හැසිරීම තුළ ඔහු වයසින් මුහුකුරා ඇති නූගත් පුද්ගලයෙකු ලෙස ඉදිරිපත් වන බැවින්, මෝල්ටි සහ ඇගේ පාසල් පෙම්වතාගේ හැසිරීම දකින බෂීර් ඛාන් වාවා ගත නොහැකි ඊර්ෂ්‍යාවකින් ඇසිඞ් ප‍්‍රහාරය එල්ල කිරීම සැලසුම් කරයි. නමුත් ඔහු විසින් එය නොකර වෙනත් කාන්තාවක් හරහා කිරීම මගින් පැහැදිලි වන්නේ, කෝපය සිත තුළ පැවතුණ ද මෝල්ටි කෙරේ ඇති සෙනෙහසක් නිසා ඔහුට ඇගේ මුහුණ බලා එය නොකළ හැකි බවයි.
දරාගත නොහැකි වේදනාවක් සමග කෑගසමින් මෝල්ටි බිම වැටෙද්දී, මගිියෙක් ඇගේ හිසට වතුර වත් කරයි. ඔහු පොලීසිය අමතයි. ගිලන් රථයකින් මෝල්ටීව රෝහලට ගෙන යයි. පොලිසිය ප‍්‍රහාරකයා දඩයම් කිරීම ආරම්භ කරයි. මේ අතර, ඇගේ බලාපොරොත්තු සුන්වීම සහ මානසික අවපීඩනයෙන් මිදීමට ප‍්‍රතිෂ්ඨාපන සැත්කම් කිහිපයකට භාජනය කෙරේ. ඇයට පහර දුන් තැනැත්තාට එරෙහිව නීතිමය නඩුවක් පැවරීමට මෝල්ටි දරන උත්සාහයන් කෙරෙහි ගුල්සාර් අධ්‍යක්ෂවරිය දක්ෂ ලෙස අවධානය යොමු කර ඇත.
මෝල්ටිගේ ජීවිතය තුළ ඇතිවන මහා වෙනස ආරම්භය වන ශල්‍යකර්මයෙන් පසු කණ්ණාඩියෙන් මුහුණ දැක යටිගිරියෙන් කෑ ගසන අවස්ථාවේ ඇතිවන වේදනාකාරී විදගැනීමට පේ‍්‍රක්ෂකයාව ද සම්බන්ධ කරගැනීමට අධ්‍යක්ෂවරිය උත්සාහ කරයි. ඇය කණ්ණාඩිය දෙස බලා ඇගේ කන් පෙත්ත හරහා කරාඹුව ඇතුළු කිරීමට උත්සාහ ගනිද්දී, ඇසිඞ් මගින් කන් පෙත්ත පවා ඉවතට ගෙන ඇති බව වටහා ගත් විට, ඇගේ හදවත බිඳී යන බවත්, රුපියල් 30 ක ඇසිඞ් බෝතලයක හැකියාවත් පේ‍්‍රක්ෂකයාට පසක් කර දෙයි.
ඇසිඞ් වලින් පහර දීම වෙනුවෙන් දඩුවම් ඉන්දියානු අපරාධ නීති සංග‍්‍රහය තුළ ඇතුළත් නොවන අතර, ඔවුන්ට දිගු සිර දඩුවම් වලින් වැළකී කටයුතු කළ හැකි ය. බීම වීදුරුවක් මිළදී ගැනීමකට වඩා පහසු මුදලකින් ඇසිඞ් මිළදී ගත හැක. ඒවා නිෂ්පාදන සමාගම් වලට අවශ්‍ය භාණ්ඩ වුවත් සාමාන්‍ය ජන ජීවිතයට අවශ්‍ය නොවේ. එනිසා සාමාන්‍ය ජනයාට ඇසිඞ් මිළදී ගැනීම තහනම් කිරීමට නීති සම්පාදනයේ දැඩි අවශ්‍යතාවක් පවතී. මෝල්ටිගේ ප‍්‍රධාන සහායිකාවක් වන අර්චනා බජාජ් (මධුර්ජීත් සර්ගි) මහත්මිය මෙම ඇසිඞ් පහර දීම පිළිබදව ඇති නීතිවල පවතින දුර්වලතාවට එරෙහිව පෙළ ගැසෙන නීතිඥවරියකි. ඇය මෙම කරුණ සම්බන්ධව දැඩි දඩුවම් සහිත ජාතික නීති පද්ධතියක අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටී. ඒ සදහා යොදා ගැනෙන්නේ මෝල්ටි තරුණියයි.
මෝල්ටි නෛතික ජයග‍්‍රහණයක් සමරන සාදයකදී, එම තීන්දුව ප‍්‍රමාණවත් නොවන බව සිතන අමෝල් ඇය සමග වාදයක් ඇති කරගනී. නමුත් එම අවස්ථාවේදී මෝල්ටි ප‍්‍රකාශ කරන්නේ එම සුඵ ජයග‍්‍රහණය පවා ඇය වැනි ඇසිඞ් ප‍්‍රහාරවලට ලක්වූවන්ට විශිෂ්ඨ ජයග‍්‍රහණයක් බවයි.
මෝල්ටි සිය පේ‍්‍රමයේ උණුසුම් හැගීම් අමෝල්ට ප‍්‍රකාශ කරයි. නමුත් අමෝල් ඇගේ ආදර කතා වලට බාධා කරයි. ඔහු අවධාරණය කරන්නේ ‘‘මේවා චිත‍්‍රපට දෙබස්’’ බවයි. ඒ සදහා ඇගේ පිළිතුර වනුයේ, ‘‘කෙනෙක් තමන්ගෙ පාඩුවෙ නිහඩව ආදරය කරනව නම් ඔයාට මොකක්ද තියෙන ප‍්‍රශ්නෙ?’’ යන්නයි. මේ වන විට මෝල්ටි සියල්ලේ සත්‍ය ස්වභාවය තේරුම් ගෙන සිටී. ඇගේ මුහුණ දකින විට කුඩා දරුවන් පවා බිය වීම ඇයට සාමාන්‍ය දෙයකි.
සිනමාපටය අවසානයේදී පේ‍්‍රක්ෂකයන්ට මෝල්ටිගේ නොපැහැදිලි සුන්දරත්වය දැකගත හැකි වූ විට, චිත‍්‍රපටයේ විභේදනය වඩාත් තෘප්තිමත් කිරීමට සුදුසුම වේලාවේදී, ඇයගේ ප‍්‍රහාරකයාගේ රෞද්‍රකම කුරිරු ලෙස සිහිපත් කෙරේ. නමුත් අමෝල්ට ද නොදැනුණු, ඔහු තුළ පවතින මෝල්ටි කෙරෙහි වූ පේ‍්‍රමය දෑසින් ප‍්‍රකාශ කර එක්වන අවසාන මොහොත, ඇසිඞ් ප‍්‍රහාරයට ලක්වූවන්ට යම් පේ‍්‍රමණීය බලාපොරොත්තුවක් දල්වාලයි.
අධ්‍යක්ෂිකා මේඝ්නා ගුල්සාර් මෙම ගැඹුරු යථාර්ථය පිළිබඳව සැහැල්ලූ ප‍්‍රවේශයක් ගෙන, කථාව මෘදු කිරීම සඳහා හුරුපුරුදු නිහඩ ශෛලිය භාවිත කරයි. සිනමාපටය තුළ ගීත කිහිපයක් ඇතුළත් වන අතර, සංගීතය මගිින් කථාව උච්චව, චිත්තවේගීයව කළමනාකරණය කළ හැකි තනු නිර්මාණයට යොමු කෙරේ. වේදනාකාරී හැගීම් ප‍්‍රදර්ශනයේදී පවා ගීත ගායනය යොදා ගැනීමට ගුල්සාර් දක්ෂ වී ඇත. උදාහරණ වශයෙන් මෝල්ටි මෙන්ම ඇසිඞ් ප‍්‍රහාරවලට ලක් වූ තරුණියන් දුම්රියේ නැගී යන අවස්ථාවේදී ගීත ගායනා කිරීම, වේදනාව සගවා තාවකාලිකව සතුටු වන දර්ශනයක් ලෙස පෙන්නුම් කරයි.
මෝල්ටිගේ පිළිස්සුම් නිරූපණය කිරීම සඳහා භාවිත කරන දෘශ්‍ය ප‍්‍රයෝග තරමක් අසාමාන්‍ය වේශ නිරූපණයකි. ඇයට ප‍්‍රතිකාර ලැබෙන විට එය සියුම් ලෙස වෙනස් වේ. ගුල්සාර් විසින් ඇසිඞ් ප‍්‍රහාර වලින් දිවි ගලවා ගත් අයද රංගනය සදහා භාවිත කරන අතර, කැමරාව මෝල්ටි මෙන් ඔවුන්ගේ මුහුණු මතද පැහැදිලිවම රැුඳී තිබේ. ගුල්සාර් අවධාරණය කරන්නේ දිවි ගලවා ගත් අයගේ ගෞරවය සහ විනාශකාරී තුවාල වලින් පසුව පවා පවතින ප‍්‍රීතියයි. බොහෝ චලනය වන දර්ශන වල මෝල්ටි සහ සැබෑ දිවි ගලවා ගත් අය අනාගත ප‍්‍රතිකාර ගැන සිහින මවමින් සතුටු වන අවස්ථාවන් තුළදී ඔවුන්ගේ මුහුණු ආලෝකවත් වන්නේ වේදනාවෙන් නොව සිනහවෙනි.
ඇසිඞ් වලින් දිවි ගලවා ගත් අයගේ ජීවිතයේ සෑම මොහොතක්ම චපාක් තුළින් දැනේ. නමුත් මෝල්ටි සහ ඇගේ සොහොයුරා අතර ඇති නොරුස්සන සම්බන්ධය වෙනුවෙන් කලකිරීමට පත් නොවී නැරඹිය හැක්කේ සහෝදර සහෝදරියන් අතර වචනයක්වත් හුවමාරු නොවන බැවිනි. සිනමාපටය පුරා ගලා යන සරල දෙබස් පේ‍්‍රක්ෂකයාගේ කනට බර නොවී කතාවක් පැවසීමේ කාර්යය ඉටු කරයි. මෝල්ටි තිරය දෙස බලා සිටින සෑම අවස්ථාවකම, ඉන්දියාව තවමත් සටන් කරමින් සිටින මෙම නපුර නරඹන්නන්ට මතක් කර දෙයි. ඇසිඞ් තවමත් බීම වලට වඩා අඩු මිළට මිළ දී ගත හැක. අවසන් ප‍්‍රහාරය 2019 වසරේ දෙසැම්බර් 7 වන දින සිදු වූ බව චපාක් අවසානයේදී පවසයි.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන මාපා පතිරණගේ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

Comments
Post a Comment