සම්ප‍්‍රදායික චින්තනයේ සිරකරුවා- එළිපත්තායම් (Elippathayam)

අදුර් ගෝපාල ක‍්‍රිෂ්ණන් ගේ සිනමා කෘති අතරෙන් වඩාත්ම අවධානයට හසුවූ චිත‍්‍රපටය වශයෙන් ”මී උගුල” යන අර්ථය දෙන ”එළිපත්තායම්” සැලකිය හැක. මිනිසෙක් සිය පරිසරය අවබෝධ කොට ගෙන ඊට අනුවර්තනය වන්නට දැරූ උත්සාහයක්, එළිපත්තායම් තුළින් නිරූපණය වේ. මිනිසෙක් වෙනස් වන ලෝකය අවබෝධ කොට නොගෙන සිය සම්ප‍්‍රදායික චින්තන ගති පැවතුම් රටාව තුළට සිරකරුවෙක් වන ආකාරය මෙහිදී නිරූපණය කර ඇත. 

එහි මුඛ්‍ය චරිතය වූ උන්නි වැඩවසම් ක‍්‍රමයේ නශ්ටාවශේෂයක් බදු චරිතයකි. ඔහුගේ වැඩිමහල් සොහොයුරිය රාජම්මා විවාහක නමුත් ඔහු අවිවාහක ය. වැඩිමහල් දරුවන් පවා සිටින ඇය දේපල සහ අස්වැන්නේ සිය පංගුව අයිති කර ගැනීමට බලා සිටී. ගෙදර සිටින සොහොයුරියන් දෙදෙනාගෙන් රාජම්මා සිය සොහොයුරාට දාසියක මෙන් සියඵ ඇප උපස්ථාන කරමින් වයස අවුරුදු තිස් ගණනක් වුව ත් අවිවාහකව පසු වෙයි. බාලයා වන ශ‍්‍රීදේවි නව ලොවට විවෘත වූ මනසකින් යුක්ත ය. රාජම්මා ගෙනෙන විවාහ යෝජනාවට උන්නි විරුද්ධ වෙයි. ඊට හේතුව තව දුරටත් දේපල බෙදී යතැ යි පවත්නා බියකි. උන්නි අලසයෙක් වන අතර, ඔහුගේ සියඵ බැල මෙහෙවර රාජම්මා විසින් කළ යුතු ය. ඔහුගේ දෙපා පළදින සෙරෙප්පු දෙක පවා ළගට ගෙනැවිත් දිය යුතු ය. උන්නි තව දුරටත් වලංගු නොවන සමාජ වටිනාකම් හා හරයන් හිසින් බැහැර කළ නොහැකි චරිතයකි. රාජම්මා ඔහුගේ ගතානුතික ලෝකයේ සිරකාරියකි. ශ‍්‍රී දේවි ඒ ලෝකයෙන් මිදී පැන යයි. රාජම්මා අසනීප වී මිය යයි. නාදුනන පිරිසක් විසින් උන්නිව දිය පොකුණකට ගෙන ගොස් දමයි.  
       
මී උගුල, චිත‍්‍රපටය පුරා ප‍්‍රබල සංකේතයක් ලෙසින් නැගී සිටී. උන්නිත් මීයකු වැන්න. අනුන්ගේ ශ‍්‍රමය මත ගොඩනැගුණු වැඩ වසම් ක‍්‍රමය නැමැති හබක තුළ සිරගත වූවෙකි. ශ‍්‍රී දේවි හා රාජම්මා ගෙදර අල්ලනු ලබන මීයන් උගුල පිටින් ගෙන ගොස් පොකුණට දමා දොර විවෘත කරයි. චිත‍්‍රපටය අවසානයේදී මිනිසුන් උන්නිව ද ගෙන යනු ලබන්නේ එම පොකුණටමය. එහි හඬත් උන්නිගේ කාමරයේ දොරේ හඬත් එක හා සමානය. මෙම චිත‍්‍රපටය ”උගුලකට” හසුව ඉන් විමුක්තිය ලබන අවස්ථා හයකින් යුක්තය. ප‍්‍රථම අවස්ථා තුනේදී උගුලෙන් ගැලවෙන්නේ මීයන් ය. ඉතිරි අවස්ථා තුන ඒ ගදර ජීවත් වූවන් හා සම්බන්ධ ය. ශ‍්‍රී දේවි නිදහස සොයා යයි. රාජම්මා විමුක්තිය ලබන්නේ මරණයට පත්වීමෙනි. (ඇත්තෙන්ම මරණය ඇයට විමුක්තියකි.) තෙවන අවස්ථාව උන්නිගේ ජීවිතය විපර්යාසයකට භාජනය වෙතැයි සිතිය හැකි වන්නේ මිනිසුන් ඔහු පොකුණට දමනු ලැබීමේ සිද්ධියෙනිි.

ගෝපාල ක‍්‍රිෂ්ණන්ගේ අනෙක් චිත‍්‍රපට වලට වඩා මෙම චිත‍්‍රපටය සංකීර්ණ ය. චරිත හා අන්තර් සබඳතා සරල මෙන් පෙණුනත් ගැඹුරු දෘෂ්ටියක් ඉන් මතු කෙරේ. එමෙන්ම සංකේතාර්ථ ද බහුල ය. උන්නි ගේ හුදකලා ජීවිතය, ආශාවන් මැඩ පැවැත්වීමට අනුබල දුන්නකි. යාබද නිවසක ජීවත්වන ගැහැණියගෙන් ලැබෙන කාම ආරාධනය පිළිගැනීමට තරම් ස්වීයත්වයක් ඔහුට නැත. කුඩා දරුවෙකු මෙන් ඔහුට අවශ්‍ය වන්නේ කවුරුන් විසින් හෝ ඔහු රැකබලා ගනු ලැබීමයි. ඔවුන්ගේ පරිභෝජනයට අවශ්‍ය පමණ ධාන්‍ය අස්වැන්න හා පොල් තිබෙන බව චිත‍්‍රපටයෙන් හැඟේ. එහෙත් උන්නි ඒවා බෙදී යනවාට විරුද්ධ ය. ඔහු රාජම්මාගේ විවාහ යෝජනාවට අනුබල නොදෙන්නේ ද මේ හේතුව නිසාම ය. මෙම දේපළ බෙදීම පිළිබඳ ඇති විරුද්ධත්වය හා භුක්ති විඳීම පිළිබඳ ඇති අසමානතාව ඔවුන්ගේ පවුල තුල ඇති එකිනෙකාගේ දුක, සැප, සතුට, වේදනාව බෙදාගෙන ජීවත්වීමට නොහැකි බවේ භෞතික සංකේතයකි. 

ශ‍්‍රී දේවිට රාජම්මා ගැන දයානුකම්පාවක් නැත. ඇය ස්වාර්ථකාමී ය. රාජම්මාගේ විවාහය ගැන හෝ ඇයට වැළදෙන අසනීපය නිසා විඳින වේදනාව ගැන හෝ උන්නිට තැකීමක් නැත. ජානම්මාගේ එකම අවශ්‍යතාව ඇගේ දේපල කොටස වෙන්කර ගැනීමයි. ජලය ද චිත‍්‍රපටය පුරාම සංකේතයක් වෙයි. ස්වාභාවික අත්දැකීම් විඳින්නට උන්නි අකමැති ය. ඔහු ගත කරන්නේ ද මද වශයෙන් හෝ වෙනස් වන්නට නොකැමති  ජීවිතයකි. ඔහු ස්නානය කරන්නේ උණු ජලයෙනි. වතුර ගලා නොයන පොකුණ ද, පාරවල දියකඩිති ද, උන්නිගේ එකම තැන පල්වෙන ජීවන රටාවේ හා සිතුම් පැතුම් වල සංකේතයකි. අවසානයේදී පොකුණේ නිශ්චලත්වය බිද දමමින් වැසි ජලය පතිත වන්නේ උන්නිගේ නිශ්චල පැවතුම් රටාව ද චංචල කිරීම සංකේතවත් කරමිනි. රාජම්මා ගේ දැරිය නොහැකි උදරාබාධය ද කාලයක් තිස්සේ දරා සිටි ඇගේ සිත තුළ කැකෑරෙන වේදනාව පුපුරා යාම ඉඟි කරන භෞතික සාධකයකි.

මෙය ගෝපාල් ක‍්‍රිෂ්ණන්ගේ ප‍්‍රථම වර්ණ වෘතාන්ත චිත‍්‍රපටයයි. ඔහු ඊට පෙර වර්ණයෙන් වාර්තා චිත‍්‍රපට කීපයක් තැනීය. බේස් වයලීනය හා තාම්පුරාවත් සංකලනය වූ චිත‍්‍රපටයේ සංගීත හඬ අඩක් ලියූ වැකියක් මෙන් පැවැත්මක් නැත. චිත‍්‍රපටයෙන් බැහැරට ගත්විට සංගීත රචනයක් වශයෙන් සිත් හි නොරැඳේ. ඒ තරමට චිත‍්‍රපටය හා බැඳි පවතී. අන්තර්ගතය හා විලාසය අතර ඇත්තේ මනා පෑහීමකි. එලිපත්තායම් කේරළ සිනමාව බිහිකළ සම්භාව්‍ය කෘතියක් වශයෙන් හැඳින්ම අතිශයා්ක්තියක් නොවේ. එය 1982 වර්ෂය තුළ බි‍්‍රතාන්‍යයේ National Film Theater හි තිරගත කළ වඩාත්ම නිර්මාණාත්මක චිත‍්‍රපටය වශයෙන් බි‍්‍රතාන්‍ය චිත‍්‍රපට ආයතනයේ සම්මානය ද දිනා ගන්තා ලදී.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන මාපා පතිරණගේ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

Comments

Popular posts from this blog

ත‍්‍රිමාණ තාක්ෂණයෙන් රූගත කළ ශ‍්‍රී ලංකාවේ පළමු සිනමා නිර්මාණය- විජයබා කොල්ලය

උං ඝරසරප කිව්වට මගේ නම කඵ කුමාර- ඝරසරප

ඔවුන් උත්පත්තියෙන් සමාන භාග දෙකක්- නමුත් ඔවුන් විෂමයි.- විෂම භාග