විහිළුකාරයින් නැති හාස්‍යයක්- දුෂ්ටයන් නැති ඛේදවාචකයක් ‘‘PARASITE’’

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී 92 වන වරටත් පැවැති 2020 ඔස්කාර් සම්මාන හෙවත් ඇකඩමි සම්මාන උළෙලේ, ඉතිහාසයේ ප‍්‍රථම වරට ඉංග‍්‍රීසි බසින් නොවන චිත‍්‍රපටයක් හොඳම චිත‍්‍රපටය ලෙස සම්මානයට පාත‍්‍රවීම විශේෂත්වයක් විය. පැරසයිට් නම් වූ දකුණු කොරියානු චිත‍්‍රපටය එලෙස එම උළෙලේදී හොඳම චිත‍්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම විදෙස් චිත‍්‍රපටය සහ හොඳම තිර රචනය සඳහා වන සම්මාන හතරම හිමි කරගනිමින් වැඩිම සම්මාන දිනාගත් චිත‍්‍රපටය බවට පත් විය. ඔස්කාර් සම්මාන ඉතිහාසයේ හොඳම චිත‍්‍රපටය සඳහා වන සම්මානය දිනාගත් ඉංග‍්‍රීසි නොවන පළමු චිත‍්‍රපටය බවට පැරසයිට් නොහොත් පරපෝෂිතයා හදුනාගත හැක. පැරසයිට් චිත‍්‍රපටයේ කතා රචකයා හා තිර රචකයාද වන බොන්ග් ජූන් හො හොඳම අධ්‍යක්ෂවරයා ලෙස මෙහිදී සම්මානයට පාත‍්‍ර විය. 


බොන්ග් ජූන් හො පැරසයිට් චිත‍්‍රපටය ”විහිළුකාරයින් නැති හාස්‍යයක්, දුෂ්ටයන් නැති ඛේදවාචකයක්” ලෙස හදුන්වා දෙයි. මෙය සමාජ ආර්ථික වර්ණාවලියේ ප‍්‍රතිවිරුද්ධ දෙකෙළවරේ සිටින පවුල් දෙකක කතාවකි. සිනමාපටයට පරපෝෂිතයා යන් අර්ථය පසක් කරන තේමාවක්ම යොදාගෙන ඇත්තේ ද කොරියාවේ පහළ සමාජ පන්තිය නියෝජනය කරන අනුන්ගෙන් යැපෙන පවුලක් ප‍්‍රස්තුථ කරගත් කථාවක් වන හෙයිනි. අපිරිසිදු, දුර්ගන්ධයෙන් යුත්, බේබද්දන් මුත‍්‍රා කරන අර්ධ බිම් මහලක එකට වාසය කරන කිම් පවුලේ පියා වන කි-ටේක් (සොන්ග් කැන්ග්-හෝ) සහ මව වන චුන්ග්-සූක් (චැං හයි-ජින්) යන දෙදෙනා සමග නාඹර වියේ පසුවන පුතා සහ දියණිය යි. 

ඔවුන් නිවස තුළ සැරිසරමින්, ස්මාර්ට්ෆෝන් සිවිලිම දක්වා රඳවාගෙන, අසල්වැසියන්ගෙන් සහ අවට ව්‍යාපාරවලින් හොර රහසේ වයිෆයි ආවරණය කරගැනීම උදෙසා දරනු ලබන උත්සාහයකින් සිනමා පටය ආරම්භ වේ. ඔවුන්ට පවුලේ එකිනෙකා හැර අන් කිසිවක් නැති අතර ව්‍යවසායකත්වයේ අවශ්‍යතාවය පිළිබඳ පොදු හැඟීමක් ඇත. විශ්වවිද්‍යාල ප‍්‍රවේශය බලාපොරොත්තුවෙන් පසුවන පවුලේ පුත‍්‍රයා වන කි-වූ (චෝයි වූ- සික්) ගේ මිතුරකු නිවසට සෞභාග්‍ය උදාකිරීමේ පාෂාණයක් රැගෙන එයි. ඔහුගේ මාර්ගයෙන් කි-වූට අනපේක්ෂිත ලෙස ධනවත් පාර්ක් පවුලේ දියණියගේ උපදේශකවරයා ලෙස පෙනී සිටීමට සිදුවන අතර, වෙබ් පාදක වංචාවන් සඳහා කලාත්මක හැකියාවක් ඇති ඔහුගේ දක්ෂ සොහොයුරිය වන කි-ජුන්ග් (පාක් සෝ- ඩෑම්) විසින් හොර විශ්වවිද්‍යාල සහතිකයක් සකස් කර දෙයි. 

සෝල් නුවර මුඩුක්කු වලට ඉහළින් පිහිටා ඇති සුඛෝපභෝගී නිවැසියන් වූ ව්‍යාපාරිකයෙකු වන පාර්ක් මහතා (ලී සන්-කියුන්), ඔහුගේ බිරිඳ වන යොන්-කියෝ (චෝ යො-ජියොන්ග්), දියණිය වන ඩ-හයි (ජුන් ජි-සෝ) සහ අධි ක‍්‍රියාකාරී කුඩා පුතු ධනවත් පවුල ලෙස පෙනී සිටී. ඔවුන් කුලී පදනම මත ගෘහ සේවිකාවක් වන මූන්-ග්වාන්ග් (ලී ජුන්ග්-ඉයුන්) සහ රියැදුරකුගේ උපකාර ලබා ගනී. මූන්-ග්වාන්ග් නිවසේ මුල් ගෘහ නිර්මාණ ශිල්පියා ඉවත් වූ පසු දිගමට නිවසේ රැුඳී සිටින්නීය. කි-වූ (”කෙවින්” ලෙස පෙනී සිටී.) තම පවුලේ අයට එම භූමිකාවන් පහසුවෙන් පිරවිය හැකි බව වටහාගෙන, වංචා සහ උපායන් යොදා ගනිමින්, පාර්ක් පවුලේ නිවසට ඇතුල් වීමට සමත් වේ. 

රැවටීම ආරම්භ කි-වූ පාර්ක් නිවසේ ඩ-හයි දියණියගේ උපදේශක ලෙස වැඩ භාර ගැනීමත් සමග ය. පාර්ක් මහතාගේ බිරිඳ වන යොන්-කියෝ රැවටිලිකාරයින්ට මොහොතින් හසුවන තරුණ කාන්තාවක් වීමත්, පාර්ක් නිවසේ කුඩා පිරිමි දරුවාගේ කලා කටයුතු සඳහා උපකාර කිරීමට සහ මග පෙන්වීමට මනෝ චිකිත්සකයෙකු අවශ්‍ය බව පෙන්වා දෙයි. ඒ අනුව කි-වූ තම සහෝදරිය වන කි-ජුන්ව උපදේශකවරිය ලෙස සම්බන්ධ කරයි. කි-ජුන් උපායක් මගින් රියැදුරා ඉවත් කර තම පියා වන කි-ටේක් හදුන්වා දීමත්, ඉන්පසු උපායශීලීව කි-ටේක් සහ දරුවන් දෙදෙනා නිවසේ ගෘහ සේවිකාව ඉවත් කර චුන්ග්-සූක් වූ ඔවුන්ගේ මව හදුන්වා දේ. එතැන් පටන් කිම් පවුල විවිධ ආකාරයෙන් පාර්ක් පවුල රවටමින් සුඛෝපබෝගී ජීවිතය යම් තරමකට භුක්ති විදී. පාර්ක් පවුල කුඩා දරුවාගේ උපන් දිනය සදහා නිවසින් පිට වන දිනයේ එම නිවෙස තුළ කිම් පවුල සාදයක් පවත්වයි. 

සුඛෝපභෝගී කොරියානු නිවෙස් තුළ පිහිටුවා ඇති බිම් මාලයක් පාර්ක් නිවසේ ඇති නමුත් පාර්ක් නිවැසියන් ඒ පිළිබද දැනුවත් නැත. මූන්-ග්වාන්ග් ගෘහ සේවිකාව නිවැසියන්ට හොරෙන් අවුරුදු හතරක් තිස්සේ තම සැමියාව ඒ බිම් මාලය තුළ සගවා පෝෂණය කරන්නීය. සාදය අතරතුර නිවසට නැවත පැමිණෙන කලින් ගෘහ සේවිකාව නිසා නොසිතූ ලෙස අර්බුද ගණනාවකට මුහුණ දීමට සිදු වේ. එම පවුල් දෙක අතර සිදුවන ගැටුම් ගණනාවක් නිමා වන්නේ, හදිසියේම පාර්ක් පවුල ආපසු පැමිණීම නිසාය. පෙර ගැටුමෙන් මූන්-ග්වාන්ග් ගෘහ සේවිකාව මරණයට පත්වන අතර, රාත‍්‍රියේම චුන්ග්-සූක් හැර කිම් පවුලේ අය තම නිවෙසට පැන යයි. 

ඒ අතරතුර රාත‍්‍රියේ ඇති වන දැඩි වර්ෂාවෙන් කිම්ගේ අර්ධ බිම් මහල අපජලයෙන් යට වේ. පියා සමග දියණිය සහ පුත‍්‍රයා හැකි පරිදි භාණ්ඩ බේරාගෙන අවතැන් කදවුරකට යයි. පසුදා පාර්ක්ගේ පුත‍්‍රයාගේ උපන්දින සාදය සදහා ඔවුන්ට ආරධනා ලැබේ. සාදය අතරතුර මිතුරා දුන් පාෂාණය රැගෙන යන කි-වු, මූන්-ග්වාන්ග් ගෘහ සේවිකාවගේ සැමියා ඝාතනය කිරීමට තැත් කරන නමුත් ඔහුගේ ප‍්‍රතිප‍්‍රහාර හමුවේ කි-වු පාෂාණයෙන්ම තුවාල ලබා සිහිසුන් වේ. පිහියක් රැගෙන සාදය පිහිටි ස්ථානයට පැමිණෙන මූන්-ග්වාන්ග්ගේ සැමියා කිම් පවුලේ දියණිය වන කි-ජුන්ග්ට පිහියෙන් ඇන ඝාතනය කරයි. ඔහුව දකින පාර්ක්ගේ කුඩා පුතු බියවී සිහිසුන් වේ. නමුත් ඊළග මොහොතේ ඔහුව ඝාතනය කරන්නේ චුන්ග්-සූක් ගෘහ සේවිකාවයි. පාර්ක් මහතා පෙර අවස්ථාවකදී කි-ටේක් වෙතින් හමන්නාවූ දුගද පිළිබද කතාබහක යෙදෙන අතර, මේ මොහොතේ දී ද මූන්-ග්වාන්ග්ගේ සැමියා වෙතින් හමන්නා වූ දුගද පිළිකුල් කරයි. එය දකින කි- ටේක් පිහිය ගෙන පාර්ක්ට ඇන ඝාතනය කරයි. පාර්ක්ගේ දියණිය කි-වූ කරතබාගෙන දිවයනු කි- ටේක් දකී. කි- ටේක් ද දිවගොස් බිම් මහලේ සැගවේ. 

පසු කලෙක පාර්ක් නිවෙස වෙනත් පිරිසක් මිළදී ගන්නා අතර කි- වු සහ කි- ටේක් සංඥා ක‍්‍රමයක් මගින් පණිවුඩ හුවමාරු කරගනී. කි- ටේක්ගේ බලාපොරොත්තුව වන්නේ යම් දිනෙක පාර්ක් නිවෙස මිළදී ගෙන තම මව හා පියා සමග ජීවත් වීමයි.

පැරසයිට් චිත‍්‍රපටය පුරාම දැකිය හැක්කේ කොරියානු සමාජයේ ක‍්‍රියාත්මක වන ඇති- නැති සමාජ පරතරයේ තත්ත්වය පිළිබද සංකේත සමුදායකි. අපජලයෙන් පිරී ඉතිරී යන පාතාලය නියෝජනය කරන කිම් පවුල පැහැදිලිවම බොහෝ දක්ෂ ය, උපායශීලීය. කිනම් ව්‍යසනයකට පත් වුවත් ඔවුන් පවතින තත්වය අනුව නැවත ගොඩනැගීමට හැකියාව ඇත. ඔවුන්ට සැමදා ඇත්තේ බලාපොරොත්තු පමණි. කිම් පවුල පමණක් නොව එම සමාජ පන්තියම නියෝජනය කරන මූන්-ග්වාන්ග් ගෘහ සේවිකාව පවා පවතින තත්වය මත නැගී සිටීමට උත්සාහ කරන්නීය. සිනමාපටය ආරම්භක අවස්ථාවේදී මෙන්ම අවසානයේදී ද රූපයට ගැනෙන එල්ලා ඇති මේස් කිම්ගේ සමාජය තුළ පොදුවේ පවතින අපිරිසිදු සම්බන්ධතාවය පිළිබද අදහස කියා පායි. එමගින් පොළොව යට පවා යටින් සැඟවී ඇති ගැඹුර සොයාගැනීමට ඔවුන්ට ඇති හැකියාව පෙන්නුම් කෙරේ. ඔවුන් ඉහළින් ලැබෙන වයි ෆයි ගැනීමට ගනු ලබන උත්සාහය තුළින් ඉහළ මට්ටමේ සිටින අය හා මොනයම් ලෙසකට හෝ ඇති කරගැනීමට උත්සාහ දරන සම්බන්ධතාව මතු කරයි.

පහත් තලවල මිනිසුන්ගේ උපකාරයෙන් උද්‍යාන, සුරතල් සුනඛයින් නඩත්තු කරමින් ඉහළ අහසේ තරු රටා පිළිබදවම සිහින මවන උසස් සමාජ පන්තිය නියෝජනය කරන පාර්ක් මහතාගේ පවුලේ උදවිය වහා උගුල්වල පැටලේ. ඔවුන්ගේ දුර්වල සිත් පෙන්නුම් කරන අවස්ථාවන් ලෙස තම නිවසේ දේවල් පිළිබද පාර්ක් මහතා දක්වන දුර්වලතාවය, තම දියණිය සහ පුතුගේ මානසිකත්වය පිළිබද යොන්-කියෝ ඇති කරගනු ලබන දුර්වල මානසිකත්වය, පාර්ක්ගේ දියණිය කි- වුගේ බොරු වලින් මත්වීම යන අවස්ථා තුළින් මතු වේ. තමා නියෝජනය කරන පන්තිය තුළ දෙදරීමක් ඇති විය හැකි බවට දැක්වෙන ඉගියක්  මතු කෙරෙන එක් සාධකයක් ලෙස නිවස ජලයෙන් යට වූ විට කි- ටේක් අපජලය අතරින් හැකි දේවල් යළි ගොඩනැගීමට උත්සාහ කරද්දී, කි-ජුන්ග් ජල මට්ටමට ඉහළින් පිහිටි කොමඞ් එක මත කකුල් උඩට ගෙන දුම්පානය කරන අවස්ථාවයි. පියා පවතින තත්වය මත කටයුතු කිරීම සහ දියණිය පෙර සමාජයට වඩා ඉහළ හිදිමින් ජීවිතය විදීමට උත්සාහ කිරීම එමගින් හැෙග්.
 
මුදල් යහමින් ගැවසීම වැඩිවන විට මිනිසුන් අඥාන ක‍්‍රියාවන් කිරීමට පෙළඹීම නම් සමාජ යථාර්ථය මෙහිදී පාර්ක් පවුල මෙන්ම කිම් පවුල තුළින් ද මතු කර පෙන්වයි. කි- ජුන්ග්ට පිහියෙන් පහර දුන් අවස්ථාවේදී ඇය පිළිබදව සැලකිලිමත් වීම පසෙක තිබියදී සිහිසුන් තම පුත‍්‍රයා රෝහලට රැගෙන යාමට පාර්ක් මහතා කටයුතු කිරීම මගින් එම සමාජ පන්තියේ ආත්මාර්ථකාමීත්වය මනාව පසක් කරයි. කඵ ප‍්‍රහසන නොහොත් ඩාර්ක් කොමඩි ෂානරය යටතේ වුව ද තැබිය හැකි පැරසයිට් ඉතාම සංකීර්ණ මාතෘකාවක් යටපත් නොකර ඉදිරිපත් කිරීමට බොන් ජූන්ග් දක්ෂ වී තිබිණ. පාර්ක් නිවසේ කුඩා දරුවා ඇදි චිත‍්‍රයක් දකින කි- ජුන්ග් එය චිම්පන්සියෙකු දැයි විමසන විට, නැහැ ඇන්දේ එයාවමයි යනුවෙන් පාර්ක් බිරිද කරන ප‍්‍රකාශය එම සමාජයට සිහින් පහරක් එල්ල කරනු දැකගත හැක. කිම් පවුලේ උදවියගෙන් හමන්නා වූ දුගද එක හා සමාන බව පාර්ක් පවුලේ කුඩා දරුවාට දැණුනත් වැඩිහිටියන්ට දැනෙන්නේ නැත. 

එසේම සැලසුම් කර සිදුවන කටයුතු වලට වඩා සැලසුමකින් තොරව සිදුවන කටයුතු වඩා වේගවත් බවත් කි- ටේක් ගේ කථනය තුළින් හෙළි වේ. වේගයෙන් වෙනස් වෙමින් ක‍්‍රියාත්මක වන සංසිද්ධීන් නිසා පේ‍්‍රක්ෂාව පවත්වා ගනිමින් සිනමාපටය පැය දෙකකට අධික කාලයක් දිවෙනු දැකිය හැකිය. අතුරු කථා ගණනාවක් නිසා වේගයෙන් දිශානතිය වෙනස් කරන ප‍්‍රධාන අඛ්‍යානය වඩාත් රසවත් ලෙස දිග හැරේ. සිනමාපටය සදහා යොදාගත් නඵ නිළි පිරිස අති දක්ෂ ලෙස තාත්වික රංගනයෙහි නිරත වීම ද පැරසයිට් චිත‍්‍රපටයේ විශේෂත්වයක්. පාර්ක් නිවසේ කුඩා දරුවාගේ රංගනය පවා අති විශිෂ්ඨ ය.  

කිම් කි-යංගේ (1960) සම්භාව්‍ය ත‍්‍රාසජනක චිත‍්‍රපටය වන ‘‘ද හවුස්මේඞ්’’ සහ එහි ප‍්‍රතිනිර්මාණයක් වූ ඉම් සැන්ග්-සූ (2010) ගේ ‘‘ද හවුස්මේඞ්’’ චිත‍්‍රපටයත්, පාක් චෑන්-වූක් ගේ ‘‘ද හෑන්ඞ්මයිඩන්’’ නිර්මාණයත් පැරසයිට් සිනමාපටයට පෙර කොරියානු සම්ප‍්‍රදායේ ඇති නැති පරතරය පිළිබද කතිකාවන් ගොඩනැගූ කෘති ලෙස ඉතිහාසයට එක් වී තිබේ.

ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය දර්ශන මාපා පතිරණගේ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

Comments

Post a Comment

Popular posts from this blog

ත‍්‍රිමාණ තාක්ෂණයෙන් රූගත කළ ශ‍්‍රී ලංකාවේ පළමු සිනමා නිර්මාණය- විජයබා කොල්ලය

උං ඝරසරප කිව්වට මගේ නම කඵ කුමාර- ඝරසරප

ඔවුන් උත්පත්තියෙන් සමාන භාග දෙකක්- නමුත් ඔවුන් විෂමයි.- විෂම භාග