සැබෑ මිත‍්‍රත්වයට විශිෂ්ට ආදර්ශයක්- බිල්ලූ/ Billu Barber

ගෞරි ඛාන් විසින් නිෂ්පාදනය කර, අධ්‍යක්ෂ ප‍්‍රියදර්ශන් විසින් වසරේදී අධ්‍යක්ෂණය කරන ලද බිල්ලූ, ජීවිතයේ  ඕනෑම මොහොතක සුළු දෙයක් ලෙස පෙනෙන දේ පසුව වැදගත් විය හැකි බව පිළිබිඹු කෙරෙන සිනමා පටයකි. ළමා මිතුරන් දෙදෙනෙකු අතර සැබෑ මිත‍්‍රත්වයට විශිෂ්ට ආදර්ශයක් ලබා දීමෙන් පේ‍්‍රක්ෂක හදවත ස්පර්ශ කරන්නා වූ විශිෂ්ට නිර්මාණයකි. 


හින්දි සිනමාවේ විශිෂ්ඨ තරු වන ඉර්ෆාන් ඛාන්, ෂාරුක් ඛාන්, ලාරා දත්තා,  ඕම් පූරි, රාජ්පාල් යාදව් හා අස්රානි රංගනයෙන් දායක වන බිල්ලූ හි වඩාත් කැපී පෙනෙන රංගනය ඉදිරිපත් කරන්නේ බිල්ලූ බාබර්ගේ චරිතයට පණ පොවන ඉර්ෆාන් ඛාන් ය.

චිත‍්‍රපටය ආරම්භ වන්නේ බිල්ලූ, බාබර් සාප්පුව සඳහා ව්‍යාපාරික ණයක් ලබා ගැනීම සඳහා රජයේ නිලධාරියෙකුට අල්ලස් දීමට දැරූ මංමුලා සහගත අහිංසක උත්සාහයෙනි. නමුත් ඔහු එය ප‍්‍රතික්ෂේප කොට බිල්ලූව එළවා දමයි. බුද්බුඩා නම් අර්ධ නාගරික ඉන්දියානු ගම්මානයක වෙහෙස මහන්සි වී වැඩ කරන බිල්ලූ නිහතමානී බාබර් කෙනෙකි. ඔහු මාස කිහිපයක සිට විදුලි බිල්පත් සහ දරුවන්ගේ පාසල් ගාස්තු නොගෙවීමේ තත්ත්වය යටතේ ඇතිවන දැඩි ආර්ථික පසුබෑම නිසා ණයක් ලබා ගැනීමට උත්සාහ ගත් බව අවධාරණය කෙරේ. නිවසට එන විට විදුලිය විසන්ධි කොට අවසන් ය. පාසලෙන් අවසන් නිවේදනය ද නිකුත් කොට හමාර ය. නිවෙසට අත්‍යාවශ්‍ය බඩු ගෙන ඒමට නොහැකි වූ හෙයින් බිරිදගේ දෝෂාරෝපණ ය. දිනෙන් දින ඇතිවන විවිධ බාධක මගින් බිල්ලූගේ ජීවිතය තවත් අන්ත අසරණ තත්වයට පත් වේ. බාබර් සාප්පුවට කොන්ඬේ කපාගන්නට එන පුද්ගලයෙකු පුටවේ කකුලක් කැඞී බිම වැටීම නිසා මිනිසුන්ගේ දෝෂාරෝපණය බිල්ලූට එල්ල වේ. ඒ අතර මෙම සිදුවීම්වල වාසි ලබන්නේ බිල්ලූගේ සාප්පුව ඉදිරියෙන්ම සැලෝන් එකක් ආරම්භ කරන තවත් පුද්ගලයෙකි. 

මේ අතර ඔවුන්ගේ ගම්මානයට පැමිණෙන සහීර් ඛාන් නම් අති විශිෂ්ට රංගන තරුව පිළිබඳ ආරංචිය ඔහුට ද ලැබෙයි. සහීර් ඛාන් යනු බිල්ලූගේ කුඩා කළ අතිජාත මිත‍්‍රයෙක් බව ඔහු බිරිඳට හා දරුවන් දෙදෙනාට කියයි. බිරිඳ සහ දරුවන් ගේ මාර්ගයෙන් එය පාසලට සහ මුළු ගම්මානය පුරා අස්සක් මුල්ලක් නෑර පැතිර යයි. කිසි දිනෙක බිල්ලූගේ ගිය නිවසට නොපැමිණි නෑ හිත මිත‍්‍රාදීන් සියලූ දෙනාම ඔවුන්ගේ නිවසට පැමිණෙන්නේ සහීර් ඛාන්ගේ මිත‍්‍රත්වයට සැලකීමක් වශයෙනි. බිල්ලූට අඩන්තේට්ටම් කළ මැරයින් පවා ඔහු පසුපස ඒ්මට පටන් ගනී. එය ඔහුට වදයක් වෙයි. සියල්ලෝම එකතු වී බිල්ලූ වෙනුවෙන් ගීත ගායනා කරන්නේ පවා සහීර් ඛාන්ගේ මිත‍්‍රයෙකු වන ඔහු, ඒ් තරමට වැදගත් පුද්ගලයකු ලෙස ඔවුන් විශ්වාස කරන හෙයිනි.
 
තමා බාබර් සාප්පුවක් කිරීම තම මිතුරාට කරන අවමානයකැයි සිතන බිල්ලූ සාප්පුව වසා දමා එම කාමරය පුරා සහීිර් ඛාන්ගේ රූප අලවයි. පාසල් ගාස්තු නොගෙවීම නිසා, බිල්ලූගේ දරුවන් පාසලට ඒ්ම වැළැක්වූ විදුහල්පතිනිය තවත් ගුරුවරුන් සමග බිල්ලූ ගේ නිවසට පැමිණෙන්නේ සහීර් ඛාන්ව පාසලට ගෙන්වා උත්සවයක් පැවැත්වීමේ අරමුණිනි. නමුත් බිල්ලූ අවස්ථා කිහිපයකදී සහීර්ඛාන් හමුවීමට විශාල උත්සාහය දැරුව ද, ආරක්ෂකයින් විසින් ඔහුව වළක්වයි.

එනිසා බිල්ලූ බොරුකාරයෙකැයි සිතන විදුහල්පතිනිය, පාසල් ගුරුවරුන්, ගම්වැසියන් හා හිතවතුන් සියලූ දෙනා නැවතත් ඔහුව ප‍්‍රතිචාර ප‍්‍රතික්ෂේප කිරීම්ට පටන් ගනියි. සිටි තත්වයෙන් තවත් අන්ත අසරණ තත්වයට පත්වෙන බිල්ලූ බාබර් සාප්පුව නැවත ආරම්භ කළත්, මිනිසුන් පැමිණෙන්නේ නැත. මේ අතර පාසලේ විදුහල්පතිනිය සහ ගුරුවරුන් සංවිධාන වී සහීර් ඛාන් පාසලට කැඳවාගෙන එයි. සහීර් ඛාන් පාසලේදී සියලූ දෙනා ආමන්ත‍්‍රණය කොට යම් අතීතාවර්ජනයක් කරයි. 

බිල්ලූගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නේ එම කතාවයි. සහීර් ඛාන් පවසන්නේ තම ජීවිතයේ ඉතාමත් වටිනා මිතුරා වූ බිල්ලූ පිළිබඳවයි. තම දෙමාපියන් ගේ අභාවයෙන් පසුව ජීවිතය ගැටගසා ගැනීමට බිල්ලූ සහ බිල්ලූගේ පියා විසින් සහීර් ඛාන්ට සිදුකළ උපකාර කඳුළු පිරි දෙනෙතින් මතක් කරයි. කතාව අතරතුර බිල්ලූ සහ බිරිඳ එතැනින් නික්මී නිවසට ගිය පසු තම දරුවන් දෙදෙනා පැමිණ පියා ඉදිරියේ අඬන්නේ අනෙක් මිනිසුන් සේම තමන් ද පියා බොරුකාරයෙකැයි සිතා නරක ඇසකින් බැලූ නිසාය. 

නමුත් එම රාත‍්‍රියේදී නිවසට පැමිණෙන කුඩා කළ තම අතිජාත මිත‍්‍රයා වූ සහීර් ඛාන් බිල්ලූට දෝෂාරෝපණය කරන්නේ, ‘‘මම උඹව හොයා ගන්න කොච්චර මහන්සි උනාද? මට ගමෙන් නගරයට යන්න උදව් කළේ උඹ. ඒ් ණය ආපහු දෙන්නෙ කොහොමද කියල මං මෙච්චර කල් බලාගෙන හිටියේ. මට උඹව හොයාගන්න බැරි වුණා. ඒත් උඹට තිබ්බා මාව හොයාගන්න.’’ සහීර් ඛාන්ට ජීවය දෙන ශාරුක් ඛාන්ගේ සැබෑව ද එය යැයි මොහොතකට පේ‍්‍රක්ෂකයාට හැගේ. ජීවිතේ ජයගත් තරුවකගේ නිර්ව්‍යාජී නිර්ලෝභී නිරහංකාර එම වදන් පෙළ පේ‍්‍රක්ෂකයාව මොහොතකට හඩවයි. බිල්ලූගේ බිරිදට ගෞරවයෙන් ආමන්ත‍්‍රණය කර ගෞරවාචාර කරන සහීර් ඛාන් දරුවන් දෙදෙනා තමා අසලට ගෙන සුහද පිළිසදරක යෙදේ. ඔහු බිල්ලූට පවසන්නේ තමා නැවත පැමිණෙන බවයි. අවට ගම්වාසීන් වට වී බලා සිටින මොහොතේ සහීර් ඛාන් බිල්ලූගේ නිවසෙන් පිටත් වන්නේ බිල්ලූගේ ජීවිතයට නව අරමුණක් සහ වටිනාකමක් ලබා දෙමිනි.

බිල්ලූ බාබර්ගේ හැසිරීම, විද දරාගැනීම සිනමාපටය පුරා නොවෙනස්ය. ගම්වැසියන්ගෙන් තාඩන පීඩන, ප‍්‍රතික්ෂේප වීම් ඉදිරියේ හැසිරෙන බිල්ලූ, සහීර් ඛාන්ගේ හමුවේදී පවා එලෙසමය. සිනමාපටයේ මුල් කොටසේදී සහීර් ඛාන් පේ‍්‍රක්ෂක මනසේ රැුඳෙන්නේ තරමක් උඩගු, මුල අමතක කළ චරිතයක් ලෙසිනි. නමුත් පාසලේ කතාවෙන් පසු සහීර් ඛාන් ගේ චරිත පේ‍්‍රක්ෂක මනස තුළ වේගයෙන් වෙනස් වේ. සහීර් ඛාන්ගේ චරිතය පුද්ගලයෙකුගේ පෞරුෂත්වය පෙන්නුම් කරන අතර, මුදල් හා කීර්තිය සලකා කිසි විටෙකත් මැකී නොයන සැබෑ මිත‍්‍රත්වයේ අරුත  පිළිබිඹු කරයි.

මධ්‍යම පාන්තිකයින් නොමැති ඉන්දියානු සමාජයේ සැබෑව මෙහිදීද පිළිබිඹු වේ. බිල්ලූ හා එකම පන්තියක සිටි අභ්‍යවකාශ යානයකින් (රූගත කිරීමකදී) බැස එන සහීර් ඛාන් (ශාරුක් ඛාන්) ගේ දිවිපැවැත්ම බිල්ලූගේ ජිවිතයට හාත්පසින්ම වෙනස් ය. කුඩා කාලයේ සිටම මිතුරන් දෙදෙනා විවිධ තත්වයන්ට මුහුණ දුන් අතර සහීර් ඛාන් සිනමා තරුවක් වී ධනවත් වූ අතර, බිල්ලූ දුප්පත් වුවද ඔවුන්ගේ මිත‍්‍රත්වයේ බැඳීම ඔවුන්ගේ හදවතේ නොවෙනස්ව පැවතුනි. 

සිනමාපටය සැබවින්ම නිර්මාණය කරන්නේ ඉර්ෆාන් ඛාන් විසින් රඟපෑ බිල්ලූගේ චරිතයයි. නිසැකවම ඔහු බොලිවුඩයේ සිටි දක්ෂ නළුවෙකි. විශිෂ්ට රංගනය, කල්පනාකාරී බව, අව්‍යාජ අවංකභාවය සහ පූර්ණ චිත්තවේගීය අවංකභාවය ඉර්ෆාන් මනාවට නිරූපණය කරයි. ඔහු බිල්ලූ චරිතයට සහ ඔහුගේ වෘත්තියට පමණක් නොව දුප්පත්කමේ ජීවිතයට ද යම් මානව ගරුත්වයක් හා ගෞරවයක් ගෙන එයි.

ප‍්‍රබෝධමත් චරිතයක් වන ලාරා දත් විසින් රඟපෑ බිල්ලූගේ බිරිඳ වන බින්ඩියා ආකර්ශනීය හා නවීන සුන්දරත්වය කැටිව රඟපාන අතර, ඇයව මෙම භූමිකාව තුළ දැකීම පේ‍්‍රක්ෂක ප‍්‍රබෝධයට හේතු වේ. ලාරා සහ ඉර්ෆාන් යන දෙදෙනාගේම හමුව සැමියා සහ බිරිඳ ලෙස සිත් ඇදගන්නා සුළුය. ඇය චරිතයට ශක්තිය ලබා දෙන්නේ ගැඹුර, ආදරය සහ ගෞරවය වැනි අවස්ථා පිළිබිඹු කිරීමේදී ය.

වෙනත් බොලිවුඞ් චිත‍්‍රපට මෙන් නොව, කිසිදු බොරු මවාපෑමක් හෝ සිනහවක් නොමැතිව ඉන්දියාවේ ග‍්‍රාමීය ජීවිතය පිළිබඳ යථාර්ථය මෙම සිනමාපටය තුළින් නිරූපණය කරයි. ග‍්‍රාමීය ඉන්දියාවේ සශ‍්‍රීකත්වය විදහා දක්වන රූප රාමු හා කැමරා කෝණ චිත‍්‍රපටයේ සරල බව, පේ‍්‍රක්ෂකයන් යටපත් නොකර දුප්පත්කම නිරූපණය කිරීම ප‍්‍රියමනාප ය. හද උණුසුම් කරවන උච්චතම අවස්ථාව තෙක් බිල්ලූ බොරු කියන බව පේ‍්‍රක්ෂකයාට දැනේ. බිල්ලූ සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතය පිළිබඳ විස්තර පමණක් නොව, මනුෂ්‍යයාගේ අඩුපාඩු හා ජීවිතයේ අනාරක්ෂිතතාවයන් ද ගැඹුරින් ස්පර්ශ කරයි. 

ඉර්ෆාන් ඛාන්, එස් ආර් කේ, ලාරා දත් සහ විශේෂයෙන් ඔම්පුරි සහ රාජපාල් යාදව් යන සියලූ නළු නිළියන්ගේ විශිෂ්ට රංගනය, ඇසට හසු වන සිත් ඇදගන්නා සුළු දර්ශන, විශිෂ්ඨ කලා අධ්‍යක්ෂණය, යථාර්ථය මතු කෙරෙන දෙබස්, කදිමට ගැලපෙන සංගීතය, අයිතම ගීත සහ යහපත් සදාචාර සංකල්පය කැටිවූ, ”බිල්ලූ” යනු සරල, පැණිරස, අවංක, සම්භවයක් සහිත හොඳ සිනමාපටයකි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන මාපා පතිරණගේ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

Comments

Popular posts from this blog

ත‍්‍රිමාණ තාක්ෂණයෙන් රූගත කළ ශ‍්‍රී ලංකාවේ පළමු සිනමා නිර්මාණය- විජයබා කොල්ලය

උං ඝරසරප කිව්වට මගේ නම කඵ කුමාර- ඝරසරප

ඔවුන් උත්පත්තියෙන් සමාන භාග දෙකක්- නමුත් ඔවුන් විෂමයි.- විෂම භාග