මළවුන් වෙනුවෙන් යුක්තිය හා සංහිදියාව අත්හැරි- පාංශු

1987- 1989 භීෂණ සමය තුළ සොල්දාදුවන් විසින් රැගෙන ගොස් අතුරුදහන් කරන සිය පුතු සොයා ගැනීම සදහා නඩු විභාගයකට මුහුණ දෙන රදා කුල කාන්තාවක් වන බබානෝනා (නීටා ප‍්‍රනාන්දු), හදුනාගැනීමේ පෙරෙට්ටුවේදී පැහැරගැනීමට සම්බන්ධ වූ ලයනල් නම් සන්නද්ධ කල්ලි සාමාජික සෙබළා හදුනා ගනී. ඇය වෙනුවෙන් පෙනී සිටින රජයේ තරුණ නීතීඥයා (ජගත් මනුවර්ණ) කිසිදු උන්දුවක් නොමැතිව මාස ගණනාවක නඩු වාර කිහිපයක් දිග්ගස්වයි. නමුත් උසාවි භූමියේදී ඇයට හමුවන හමුදා සෙබළාගේ ගැබ්බර බිරිද (නදී කම්මැල්ලවීර), අසනීපයෙන් පසුවන සිය සැමියාට සමාව ලබා දෙන්නැයි බබානෝනාගෙන් අයදියි. 


සයපෙති කුසුම (Frangipani) චිත‍්‍රපටය අධ්‍යක්ෂණයෙන් සිනමා කලාවට එක්වන, නීතීඥ විසාකේස චන්ද්‍රසේකරම්ගේ දෙවන නිර්මාණය පාංශු ය. කතාවට, තිරරචනයට, අධ්‍යක්ෂණයට මෙන්ම නිෂ්පාදනයට ඔහු විසින් දායකත්වය දක්වද්දී, දිමුතු දහනායක කාලිංගගේ කැමරා අධ්‍යක්ෂණයෙන් සහ සිතුම් සමරජීවගේ සංස්කරණයෙන් පාංශු හැඩගැන්වෙයි.

නීටා ප‍්‍රනාන්දු, නදී කම්මැල්ලවීර, ජගත් මනුවර්ණ, රන්දික ගුණතිලක, සේවියර් කණිෂ්ක, ගයාන් ලක්රුවන්, මයුර පෙරේරා, නිල්මිණි බුවනෙක, ගේ‍්‍රස් ආරියවිමල්, යොහානි හංසික, මැල්කම් මචාඩෝ, දයා වර්මන්, කුමුදු කුමාරසිංහ විශිෂ්ට රංගන දායකත්වයෙන් පාංශු හා එක් වේ.

දාරක පේ‍්‍රමය වෙනුවෙන් තම පුත‍්‍රයාට පමණක් නොව, ලෝක සත්වයින් කෙරෙහි දක්වනු ලබන දයානුකම්පාව සහ මාතෘ සෙනෙහස පාංශු චිත‍්‍රපටයේ බබානෝනාගේ චරිතය තුළින් මතු කෙරේ. ඇය ඝාතනය ලක් වූ තම සුදු පුතාගේ මරණයට සාධාරණයක් කිරීම සදහා විශාල උත්සාහයක යෙදෙන්නීය. නමුත් ඇය පවතින සමාජ තත්වය තුළ අසරණ වන ලෝක සත්වයා කෙරෙහි ද එම පේ‍්‍රමනීය දෑස් යොමු කරන බව පැහැදිලි වේ. සුදු පුතා ඝාතනය කරන සෙබළා, ඔහුගේ බිරිද සහ දරුවා කෙරෙහි පවා දයානුකම්පාවක් උපදවා ගනී. 

ශ‍්‍රී ලංකාවේ විවෘත ආර්ථික රටාව තුළ සමාජයේ ක‍්‍රමක‍්‍රමයෙන් වියැකී යාවි යැයි විශ්වාස කරන වැඩවසම් කුල බෙදීම තවදුරටත් හැඩය වෙනස් වෙමින් ක‍්‍රියාත්මක වන ආකාරය චිත‍්‍රපටය තුළින් විද්‍යාමාන වේ. ඒ බව බබානෝනා මන්ත‍්‍රීනි රූපවතීගේ නිවසට ගොඩවදින අවස්ථාවන් තුළදී රූපවතීගේ මෑණිය (ගේ‍්‍රස් ආරියවිමල්) හා දියණයගේ හැසිරීම් තුළින් මෙන්ම, ඇය විහාරස්ථානය වෙත යන අවස්ථාවන් වලදී හාමුදුරුවන්ගේ (මැල්කම් මචාඩෝ) හැසිරීම් තුළින් පැහැදිලි වේ. රූපවතීගේ නිවසේදී බබානෝනාට ලබාදෙන මිටි අසුන, වෙන්කර තැබූ පිගාන සහ කෝප්පය එම කුල බෙදීමේ පටිපාටිය මතු කරයි. බබානෝනාගේ සුදු පුතා සැබවින්ම එරෙහි වන්නේ මෙම අසමාන බෙදීම් රටාවටය. වැඩිහිටියන්ට ගරු කිරීමේ වැදීමේ සිරිත කුල ක‍්‍රමය ඉදිරිපිට බිදී යයි. රූපවතීගේ දියණියගේ මල්වර අවස්ථාවේදී බබානෝනා ඇගේ හිස දිය වත්කළ ද, දියණයගේ දෙදෙණ බබානෝනා ඉදිරියේ නොනැමෙන්නේ, එම කුල ක‍්‍රමයේ අනාගත දිගුව ද සාක්ෂාත් කරමිනි. 

සමාජයේ කිසිදු පුද්ගලයෙක් කඵ චරිතයක් ලෙස හෝ කඵ චරිතයක් නොවන බව ද සිනමාපටය තුළින් ගම්‍යමාන කෙරේ. බබානෝනාගේ සුදු පුතා මියැදෙන්නේ සුදු චරිතයක් ලෙසින් වුව ද, සිනමාපටයේ අවසන් කොටසේදී හෙළි වන්නේ රූපවතීගේ මරණය ඔහු අතින් සිදු වූවක් බවය. සුදු පුතාට විමුක්තිකාමීන් පිළිබද ඉගැන්වූ ටියුෂන් ගුරුවරයා චිත‍්‍රපටයේ මුල් කොටස් තුළ බබානෝනාගෙන් හා ඇගේ නංගිගේ පුත‍්‍රයාගෙන් අවලාද අසමින් මුනිවත රකිමින් සිටිය ද, රූපවතීගේ මරණයට ඔහු ද හවුල් වූවෙකි. සියලූ වැරදි තිබියදී රටහැර යන්නේ ද ඔහුය. ඔහු විසින් වත්තේ වළදමන තුවක්කුව රැුගෙන ගොස් ගංපතුලේ සගවන්නේ බබානෝනා විසිනි. සුදුපුතාව ඝාතනය සදහා රැගෙන යන සෙබළා වැරදිකරු වුවද, ඔහු එය රාජකාරියේදී කර තිබෙන්නේ ඉහළ පෙළේ පිරිසකගේ අණ මතය. ඒ හේතුවෙන් ඔහු වරදකරු කරමින්, සියලූ තනතුරු ඉවත් කර ඇතුවා පමණක් නොව, මානසික වියවුල්භාවයකින් ජීවිතය ගෙවීමට සිදුවී ඇත. 

සුදු පුතාගේ පාර්ශවය මෙන්ම සෙබළාගේ පාර්ශවය ද කටයුතු කොට ඇත්තේ නිර්නාමික ඉහළ පෙළේ පිරිසකගේ බලපෑම් මතය. සුදු පුතා සහ සෙබළා යන දෙදෙනාම එකම සමාජ පන්තියක් නියෝජනය කරයි. සුදු පුතා ජිවිතයෙන්ද, සෙබළා මානසිකව ද වන්දි ගෙවයි. වරදකරුවන්ට සත්‍යවශයෙන්ම දඩුවම් ලැබෙන බව ද පාංශු තුළින් ඉදිරිපත් කෙරේ. සෙබළා හා ටියුෂන් ගුරුවරයා හෘද සාක්ෂියෙන් පවා දඩුවම් විදී. 

තම පුත‍්‍රයා රූපවතී නෝනාට වෙඩිතැබූ බව බබානෝනා දැනගත්ත ද, ඇය ඒ පිළිබද කම්පා වූ බවක් නොපෙනේ. ඇය යම් ආකාරයකට ඒ පිළිබද සතුටු වූවා විය හැක. මන්ද, ඒ පවතින කුල බෙදීම නිසා තම පිරිස නිරන්තරයෙන් විදින්නාවූ පීඩාවට එරෙහිව සුදු පුතා ගත් එඩිතර තීරණය නිසාය. රූපවතීගේ ඝාතකයා ලොවින් සගවා තුවක්කුව ගංපතුලේ සගවන්නේ එබැවිනි. සුදුපුතා පරිහරණය කළ දෑ තම නැගෙණියගේ පුත‍්‍රයාට (සේවියර් කණිෂ්ක) දෙන්නේ, අයියා ගිය එඩිතර ගමන ඔහුටද යාමට දුන් විවරණයක් ලෙසිනි. ඔහුද තම සහෝදරයා වීරයෙකු ලෙස හදුනාගන්නේ එබැවිනි. බබානෝනා ඝාතකයින් හදුනාගත නොහැකි යැයි කළ ප‍්‍රකාශ නිසා ඔහු ඇයව හෙළා දකී. ‘‘ලොකු අම්ම මැරිච්ච අයියටත් අවනම්බු කළා.’’ මුවින් නොබැණ සියල්ල තම සිත තුළ දරාගෙන සිටින බබානෝනා මෙම ඇනුම් පද ඉදිරියේදී ද මුනිවත රකී.

අධිකරණයෙන් දෙනු ලබන තීරණ වලට වඩා මානුෂීය තීරණ ගැනීමට බබානෝනා කටයුතු කරයි. සෙබළාගේ ගැබ්බර බිරිදගේ වදන් කෙරෙහි සානුකම්පිත වන ඇය, පුත‍්‍රයා වෙනුවෙන් කැපවූ දැඩි තීරණය වෙනස් කරමින්, උපදින්නට සිටින සෙබළාගේ දැරිය කෙරෙහි පේ‍්‍රමයක් උපද්දවා ගනී. තම  සුදු පුතාව රැගෙන ගිය සෙබළාව හදුනාගැනීමේ පෙරෙට්ටුවේදී හදුනා ගත්තද ඔහුගේ බිරිදගේ වදන් වලින් පසු බබානෝනා ප‍්‍රකාශ කරන්නේ, අපරාධකාරයන්ව කඵවරේ හදුනාගැනීමට නොහැකි වූ බවය. ඇය සෙබළාගේ දියණියට අත්තම්මා කෙනෙකි. වේගයෙන් වෙනස් වන සංකර ලොවෙන් දැරිය ආරක්ෂා කිරිමට බබා නෝනා කැප වේ. දැරිය ඇය වෙත රැගෙන ආ අවස්ථාවේ සුළගට චලනය වන රෙදි වැල් දෙකක් අතරේ සඵවක් ඇද දැරියව ආරක්ෂා කරන්නේ බබානෝනා විසිනි. 

උසාවිය අසළ ගැවසෙන බැල්ලකට සමාන කරන බබානෝනා එකම රූපරාමුවක ජලකරාමයක් අසළ පෙනී සිටී. මවක් වශයෙන්, ලෝක සත්වයා කෙරෙහි ඇය දක්වනු ලබන දයාව අනුකම්පාව, බැල්ල මියගිය පසු ඇගේ පැටවා හදා ගැනීමට බබානෝනා පෙනී සිටින ආකාරයෙන් පෙන්නුම් කෙරේ. මවකගේ වේෂය ඇය බැල්ලගෙන් හා සෙබළාගේ බිරිදගෙන් ලබා ගනී. 

බබානෝනාගේ අතුරුදහන් වූ පුතු සොයා ගැනීමට, ඇය වෙනුවෙන් පත්කල රජයේ තරුණ නීතීඥවරයා එම කටයුත්ත සදහා උනන්දුවක් නොපෙන්වන මුත්, මාස ගණන් දිග්ගැස්සෙමින් යන නඩුව, ඉවත් කිරීමට ඇය උත්සාහ කරන අවස්ථාවේ, ඔහු දැඩි උනන්දුවකින් ඇයව දිරිමත් කරයි. මවකගේ අසරණකමට සානුකම්පිත නොවන නීතීඥවරයාට ඇය සාක්ෂිකාරියක් පමණි. නමුත් ඇය සිය පුතු වැළලී යැයි විශ්වාස කෙරෙන කදුරුගහවත්ත මිනී වළ අසලදී ඔහු සිගරැට්ටුව උරන්නේ, තමාගෙන් වූ වරදකට පශ්චත්තාප වන විලාසයකිනි. 

නීටා ප‍්‍රනාන්දු ප‍්‍රංශයේ 2019 නීස් සම්මාන උළෙලේ හොදම නිළිය බවට පත් වෙමින්, ඇමෙරිකා එක්සත් ජනපදයේ 2019 ගෝල්ඩන් ඩෝර් සිනමා උළෙලේදී සේවියර් කණිෂ්ක හොදම සහය නඵවා ලෙසත්, ප‍්‍රංශයේ 2019 නීස් සම්මාන උළෙලේදී කුමාර කරව්දෙනිය හොදම ඇදුම් නිර්මාණයටත්, 2019 කැනේඩියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී රෝයල් රීල් සම්මානයත්, ඉතාලියේ 2019 රිලිජන්ස් ටුඬේ අන්තර්ජාතික සිනමා උළෙලේ ජූරි සම්මානයත් ලබා ගනිමින්, තවත් සම්මාන උළෙල කිහිපයක නිල නියෝජනය ද ලබාගත් පාංශු ලාංකීය පේ‍්‍රක්ෂකයින් වෙත 2020 අගෝස්තු සිට ප‍්‍රදර්ශනය කෙරේ. 

සිංහල විමුක්තිකාමීන්ගේ අරගලයෙන් පමණක් නොව, තිස් වසරක කුරිරු යුද්ධයෙන් බිද වැටුණු ආර්ථික, දේශපාලන සහ සමාජීය ආයතනවල සුන්බුන් අතරින් ශ‍්‍රී ලාංකිකයන් අලූ ගසා නැගිටිමින් සිටියත්, යුද්ධය නිසා තමන්ගේ ආදරණියයන් අහිමි වූවන් හට යුක්තිය හෝ සංහිදියාවක් ලබාදෙන කිසිදු ක‍්‍රමවේදයක් නැති බව විසාකේස පාංශු තුළින් ගෙනහැර පායි. 

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන මාපා පතිරණගේ

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය



Comments

Popular posts from this blog

ත‍්‍රිමාණ තාක්ෂණයෙන් රූගත කළ ශ‍්‍රී ලංකාවේ පළමු සිනමා නිර්මාණය- විජයබා කොල්ලය

උං ඝරසරප කිව්වට මගේ නම කඵ කුමාර- ඝරසරප

ඔවුන් උත්පත්තියෙන් සමාන භාග දෙකක්- නමුත් ඔවුන් විෂමයි.- විෂම භාග