මරණය ඉදිරියේ සිහින මවන ජීවිත රැගත්- දිල් බෙචාරා
මුකේෂ් චබ‍්‍රා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘දිල් බෙචාරා’’ (අසරණ හදවත) 2020 දී ඉන්දියානු හින්දි බසින් තිරගත වන ආදර චිත‍්‍රපටයකි. ජෝන් ග‍්‍රීන් ගේ 2012 නවකතාව වන ද ෆෝල්ට් ඉන් අපේ ස්ටාර්ස් මත පදනම් වන මෙම චිත‍්‍රපටය, ස්කොට් නියුස්ටැඩර් සහ මයිකල් වෙබර් විසින් රචනා කරන ලද මුල් තිර රචනය සඳහා අනුවර්තනය කරන ලද්දේ ශෂාන්ක් කයිතාන් සහ සුප්‍රෝතිම් සෙන්ග්පුටා විසිනි. සුෂාන්ත් සිං රාජ්පුත් සහ සංජනා සංගි ප‍්‍රධාන චරිත නිරූපණයෙන් දායක වේ. සුෂානත් සිංගේ ජීවිතයේ විශිෂ්ඨතම රංගනය දිල් බෙචාරා තුළින් ඉදිරිපත් කෙරේ. එසේම සුෂාන්ත් සිං රාජ්පුත් අවසන් වරට ර`ගපෑ චිත‍්‍රපටය වන්නේ ද මෙයයි.
ඒ. ආර්. රහ්මාන්ගේ සංගීතයෙන් හැඩ ගැන්වෙන දිල් බෙචාරා හි ප‍්‍රධාන භූමිකාවක් නිරූපණය කරන සුෂාන්ත් සිං රාජ්පුත්ගේ අකල් වියෝව නිසා අන්තර්ජාලය මගින් පේ‍්‍රක්ෂකයින් වෙත පිළිගැන්විණි.
කෙදිනක මැරෙන බව අමතක කර ජීවත් වන ලෝකයක, මරණය උරුමය කරගෙන, මරණය බලාපොරොත්තුවෙන් ජීවිතයේ සතුට සොයන මිනිසුන් පිළිබඳ විවරණයක් දිල් බෙචාරා චිත‍්‍රපටය තුළින් ගෙන එයි.
චිත‍්‍රපටය ආරම්භයේ සිටම තයිරොයිඞ් පිළිකාවකින් පෙළෙමින් මරණය බලාපොරොත්තුවෙන් සිටින කිසී බාසු නම් රූමත් තරුණිය වෙත ආලයෙන් ළංවීමට උත්සාහ කරන රාජ්කුමාර් ය. පාපන්දු ක‍්‍රීඩා කළ ඔහුගේ පාදයක් හදිසි අනතුරක් හේතුවෙන් ඉවත් කර ඇත. කිසී මරණයට මුහුණ දීම පිණිස මනස හුරු කර ගැනීමට විවිධ උපක‍්‍රම අත්හදා බලයි. නොදන්නා මිනිසුන්ගේ මරණ කටයුතු සදහා පවා සම්බන්ධ වෙමින් ඇය ඔවුන් හා දුක් වේ. තමාගේ මරණයේදී තම සමීපතමයින් දුක්වන ආකාරය මෙනෙහි කරයි. කිසීගේ හොදම මිතුරා ලෙස හදුන්වා දෙන්නේ ඇගේ නාසයට සම්බන්ධ කර ඇති ඔක්සිජන් නාලයේ කෙළවර සවිකළ පුෂ්පින්දර් නම් සිලින්ඩරයයි.
ඩොක්ටර් ජාගේ පිළිකා උපදේශය කණ්ඩායමේදී කිසී සහ රාජ්කුමාර් මුණගැසේ. එහිදී ඔවුන්ගේ රෝගී ගැටලූ මෙන්ම වෛද්‍ය විද්‍යාව, මනෝ විද්‍යාව හා නව නිර්මාණ පිළිබ`දව සාකච්ඡුා වේ. ඔවුන් සියල්ලෝම ජීවත් වන්නේ කිනම් හෝ සිහිනයක් සැබෑ කරගැනීම උදෙසා ය.
කිසීගේ සිහිනය අභිමන්‍යු වීර් සංගීතඥයා හමුවී, ගීත ඇල්බමයේ අවසන් නොකළ ගීතයක අවසානය සොයා ගැනීමයි. ආදරය බදාගෙන ජීවත් වන ලෝකයක, ආදර වියෝව නිසා අනෙකාගේ සිත තුළ හටගැනෙන සාංකාව දුරු කිරීමට තම සිත තුළින් දුඃඛාන්තයක් ඇතිකරගන්නා පරාර්ථකාමී මිනිසුන්ගේ හැසිරීම චිත‍්‍රපටය පුරා දිවෙයි. පිළිකාවකින් පෙළෙමින් සිටින කිසී රාජ්කුමාර් ආදරය කිරීමට ළංවීමට බිය වන්නේ, ඇගේ මරණයෙන් පසු මවට පියාට මෙන්ම රාජ්කුමාර්ටත් දුක්වීමට සිදුවන හෙයිනි. කිසී සන්සුන් සිතින් හෙබි රූමත් තරුණියක් නිසා පේ‍්‍රක්ෂකයා ඇගේ ඉරණම පිළිබද කම්පා වුවත්, චිත‍්‍රපටය තුළදී ඇගේ මරණයත්, එයට සාංකාවෙන් මුහුණ දෙන රාජ්කුමාර්ගේ හැසිරීමත් බලාපොරොත්තු වේ.
රාජ්කුමාර්ගේ මිත‍්‍රයා ලෙස පෙනී සිටින ජගදීශ් පාණ්ඬේ නිතරම වීඩියෝ කැමරාවක් අත තබාගෙන සිටී. ඔහුගේ සිහිනය චිත‍්‍රපටයක් නිර්මාණය කිරීමයි. රාජ්කුමාර් ඔහුගේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය නිරූපණය කරයි.
රාජ්කුමාර්ගේ සිහිනය වන්නේ ජගදීශ් පාණ්ඬේගේ චිත‍්‍රපටයේ තමා සමග කිසීව රංගනයට දායක කරගැනීමයි. එමගින් මියයන තෙක්ම ඇගේ සිනහව රදවා ගැනීමයි. නමුත් හදිසි අවස්ථාවක අෂ්ඨි පිළිකා රෝගී තත්වය උත්සන්න වීම නිසා ජගදීශ් පාණ්ඬේගේ දෑස් අන්ධ වේ. අස්ථිර ලෝකයේ ජීවිත තුළ සිදුවිය නොහැක්කක් නොමැත යන්න ඔහුගේ චරිතයෙන් ගෙනහැර පායි. දෑස් අන්ධ වීමෙන් පසුවද චිත‍්‍රපටයේ කටයුතු ඉදිරියට සිදු වේ.
කිසීගේ සිහිනය සැබෑ කරගැනීම සදහා රාජ්කුමාර් කිසීගේ මෑණියන් සමග ඇයව ප‍්‍රංශයේ පැරිස් නගරය වෙත ගෙනයයි. නමුත් අභිමන්‍යු වීර්ගේ ප‍්‍රකාශයන් සමග කෝප වන ඇය නැවත ආපසු පැමිණේ. දරුවාට ඇති වන ඉහිලිය නොහැකි රෝගී තත්වය නිසා අසරණ වන දෙමාපියන්ගේ තත්වය කිසීගේ මවගේ පියාගේ චරිත මගින් පෙන්නුම් කෙරේ. කිසී රාජ්කුමාර්ට සිය කැමැත්ත ප‍්‍රකාශ නොකරන විට ඇයව දිරිගන්වන්නේ ඇගේ පියා ය. ඒ ඇයව වඩාත් හොදින් අවබෝධ කරගන්නේ ඔහු වන බැවිනි.
රාජ්කුමාර්ගේ චරිතයට ද හදිසි අවස්ථාවකට මුහුණ දීමට සිදු වේ. එතෙක් ප‍්‍රකාශ නොකළ ඔහුගේ රෝගී තත්වය ප‍්‍රකාශ නිසා චිත‍්‍රපටයේ ගමන්මග එක්වරම වෙනත් මාර්ගයකට යොමු වේ. තම ශරීරයේ පිළිකා තත්වය උත්සන්න වී ඇති බව හෙළි කිරීමත් සමගය.
රාජ්කුමාර්ගේ සෞඛ්‍ය තත්වය නරක අතට හැරෙද්දී, කිසී ඔහුට සහ ජගදීශ් පාණ්ඬේට චිත‍්‍රපටය අවසන් කිරීමට ඒත්තු ගන්වයි. රාජ්කුමාර් පසුව ජගදීශ් පාණ්ඬේට සහ කිසීට ඔහුගේ සමච්චල් අවමංගල්‍යයට ආරාධනා කරන අතර එහිදී ඔවුන් දෙදෙනාම සූදානම් කර ඇති ප‍්‍රශංසා ඉදිරිපත් කරයි. දින කිහිපයකට පසු රාජ්කුමාර් මිය යන අතර, කිසී වෙනුවෙන් ලිපියක් යවමින් ඔහු ඇය වෙනුවෙන් වීර්ගේ ගීතය අවසන් කර ඇති බවත්, ගීතය අවසන් කිරීමට ඔහුට උදව් කිරීමට වීර්ට ඒත්තු ගැන්වූ බවත් පැහැදිලි කරයි. ජගදීශ් පාණ්ඬේගේ අවසන් චිත‍්‍රපටය එළිමහන් රගහලක තිරගත වන අතර එහිදී කිසී සහ පිරිස හැ`ගුම්බර වේ. කිසීගේ ඉදිරි කෙටි ජීවිතය සිනහවෙන් පිරි එකක් වනු ඇති බව රාජ්කුමාර්ගේ ප‍්‍රාර්ථනය වී ඇත.
ඔහු ඇය ලියමනකින් ඉතිරි කොට තිබුණේ, ඔවුන්ගේ ජීවිතයේ සහ ආදරයේ යථා ස්වභාවයයි.
’‘අපි ඉපදෙන්නෙ කොහොමද, මැරෙන්නෙ කොහොමද කියලා අපිට තීරණය කරන්න බැහැ. ඒත් ජීවත් වෙන්නෙ කොහොමද කියන එක අපියි තීරණය කරන්නෙ. ඉතින් කිසී බාසු මේ රජා නම් මැරිලා ගියා. එත් මගේ රැජින තවමත් ජීවත් වෙනවා. එතකම් අපේ කතාව ජීවත් වෙනවා.’’
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන මාපා පතිරණගේ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය


Comments
Post a Comment