කම්පනයෙන් සවිමත් වූ මිනිසුන්ගේ කතාව- මාලන්ග් (Malang)

දුර්වල මිනිසෙකුට පවා දැනෙන දැඩි කම්පනය, වේදනාව ඔහුව ශක්තිමත් මිනිසෙකු බවට පත් කරන බව ප‍්‍රස්තුත කරගනිමින් දිගහැරෙන මාලන්ග් චිත‍්‍රපටය, 2020 දී තිරගත වන හින්දි රෝමාන්තික චිත‍්‍රපටයකි. මෝහිත් සූරි විසින් අධ්‍යක්ෂණය කළ මාලන්ග් සදහා අනිල් කපූර්, ආදිත්‍ය රෝයි කපූර්, දීෂා පටානි සහ කුනාල් කෙමූ විශිෂ්ට රංගනයෙන් දායක වේ.

රළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පොලිස් පරීක්ෂක නිලධාරියෙක් වන අංජනේ අගාෂේ (අනිල් කපූර්), තමා හදුනන අපරාධකරුවන් මරා දමා සුහදශීලී හමුවක් අතර මරා දමන මානසිකත්වයෙන් යුතු වූවෙකි. චිත‍්‍රපටය මුල් කොටසේදී අගාෂේ සමග සුහද කතාවක නිිමග්ම වන අපරාධකරුවෙකු වූ ෆැමිලි රෙස්ටුරන්ට් එකේ හිමිකරුට වෙඩි තබා බෝඞ් එකේ ෆැමිලි කොටසට ද වෙඩි තැබීමෙන්, අගාෂේගේ විසිරගිය පවුල පිළිබද ඉගියක් මතු කරයි. අගාෂේගේ දියණියට ගෝවා වැටලීමකදී වෙඩි තැබූ බව පසුව මතු කරයි. 


අද්වයිට් (ආදිත්‍ය රෝයි කපූර්) යනු වසර පහකට පසු සිරෙන් නිදහස් වූ තරුණයෙකි. නිදහස ලැබීමෙන් පසු අද්වයිට් වහාම අගාෂේ අමතා පොලිස් නිලධාරියෙකුගේ ඝාතනයක් ගැන දන්වා, ඔහුට සුබ සොලිස්ටිස් යනුවෙන් ප‍්‍රාර්ථනා කරයි.

ඔක්තොම්බර් 24 සිට දෙසැම්බර් 24 දක්වා මාස දෙකක කාලයක් තුළ සිදුවන වත්මන් කතවක් හා බද්ධ වන අතීත ස්මරණ ගණනාවකින් චිත‍්‍රපටයේ ආකෘතිය ගොඩනංවා තිබේ. 

මයිකල් රොඞ්රිගුස් (කුනාල් කෙමූ) නම් පොලිස් නිලධාරියා නීති රීති අනුව කටයුතු කරන නමුත් ඔහුගේ දුර්වලතාවක් නිසා පෞද්ගලික ජීවිතය බිඳ වැටෙමින් පවතින අතර, ඔහුගේ බිරිඳ තෙරේසා වෙනත් පිරිමියෙකු සමග අනියම් සම්බන්ධයක් පවත්වයි. මේ අතර මයිකල්ගේ මිතුරා සහ සහායක වික්ටර්, අමානුෂික ලෙස ඝාතනය වේ. අපරාධ ස්ථානයේදී මයිකල්ට අගාෂේ මුණගැසෙන අතර දෙදෙනා ක්ෂණිකව එකිනෙකා සමග ගැටුම් ඇති කර ගනී. අගාෂේට මිනීමරුවා මරා දැමීමට අවශ්‍ය වන අතර මයිකල්ට ඔහුව සිරගෙදරදී අවශ්‍ය වේ. අද්වයිට් මෙම ඝාතනය සිදු කර ඇති බව අගවන අතර, ක‍්‍රමයෙන් අගාෂේ සහ මයිකල් යන දෙදෙනා සමග ඔහුගේ සම්බන්ධතා හෙළි වේ.

වසර පහකට පෙර, කෙළිලොල් ජීවිතයක් ගතකරමින් නිදහස සහ සැනසුම සෙවූ අද්වයිට්, ගෝවා හි පැවති සාදයකදී සාරා නම්බියාර් (දිෂා පටානි) හමුවෙයි. දෙදෙනා ආදරයෙන් බැඳී සංචාරය කිරීමට හා සාදයට යාමට තීරණය කරති. එක්වර සාරා, අද්වායිට්ට දාව ගැබ්ගෙන ඇති බව දැන ගනී. ඔවුන් තීරණය කරන්නේ දරුවා ගබ්සා කළයුතු බවයි.

නමුත් වෙනත් සාදයකදී වානි (දේවිකා වට්සා) නම් තරුණිය දුරකථනයෙන් තම පියා වන අගාෂේ සමග කතා කරයි. ඇයට පියාගේ ආදරය මහත් හිසරදයක් බව ද, ඇගේ නිදහස අවශ්‍ය බවද හගවා පියාට වට්ස්ඇප් වීඞීයෝවක් යවයි. මෙම සංවාදය සාරාට ඇසේ. අගාෂේ එම අවස්ථාවේදීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අල්ලා ගැනීම සඳහා වැටළීමක් සිදු කරන අතර, ඇතිවන වෙඩි හුවමාරුවක් නිසා වානි අගාෂේගේ වෙඩි උණ්ඩයකින්ම මිය යයි. සාරා මෙය තම කුස තුළ සිටින දරුවා හා සසදා බලයි. තම දරුවාගේ වියෝව ගැන අගාෂේ බිඳ වැටීම ඇයව සසල කරවයි. එනිසා ඇය ගබ්සා නොකිරීමට තීරණය කරන්නීය. එම තීරණය ගැන ඇය අද්වයිට්ට පවසන අතර, දරුවා වෙනුවෙන් කැපවීම පිළිබඳ බියක් ඇති අද්වයිට්, සාරා හැර දමා මිතුරෙකු හමුවීමට උතුරු කඳුකරයට යයි. වානිගේ මරණය අගාෂේගේ මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමට හේතු වන අතර ඔහුගේ පෞරුෂත්වය වෙනස් වේ. 

වර්තමාන කතාවේදී, අද්වයිට් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වන නිටින් සහ දේවන් ඝාතනය කරන අතර, ඒ දෙදෙනාම මයිකල්ගේ සමීප මිතුරන් වන අතර, එම ඝාතන සම්බන්ධයෙන් මයිකල් මත්ද‍්‍රව්‍යවලට ඇබ්බැහි වූ ගණිකාවක් වන ජෙසී ගැන සැක පහළ කරයි. මයිකල් ඇයව ලූහුබැද ඇගේ කාමරය වෙත ගිය පසු, ජෙසී ඇගේ ස්ථානයේ ඇති සාක්ෂි ගිනිබත් කිරීමට උත්සාහ කළද මයිකල් ඇතුල් වී, තමාද අද්වයිට්ගේ ලැයිස්තුවේ එක් ඉලක්කයක් බව දකී. නිලධාරීන් තිදෙනෙකු ඝාතනය කිරීමෙන් සිදුවීම් කිහිපයකට පසු අද්වයිට් අගාෂේට යටත් වේ.

චිත‍්‍රපටයේ ප‍්‍රස්තුත කතාවට හේතු පාදක වූ සිදුවීම් පෙළ ගැසෙන්නේ ඉන් අනතුරුවය. මයිකල්ගේ අතීතයත්, සාරාට සහ අද්වයිට් සැබවින්ම සිදුවූ දෙයත් පිළිවෙලින් හෙළි වේ. මයිකල් හැදී වැඩුණේ අපයෝජනය වූ පවුලක ය. වැඩිහිටියෙකු ලෙස ඔහු තම පෙම්වතිය වන තෙරේසා සමග විවාහ වීමට සූදානම්ව සිටියද, තම මවගේ අපයෝජනය හේතුවෙන් ඔහු ලිංගිකත්වය හා සමීප සම්බන්ධතාවයෙන් අපහසුතාවයට පත්වී ඇති අතර විවාහයට පෙර තෙරේසා ඔහුව ස්පර්ශ කරන විට එය ප‍්‍රතික්ෂේප කරයි. විවාහයට පෙර එවැනි සබඳතා අවශ්‍ය නොවන බවට නිදහසට කරුණක් ඉදිරිපත් ඔහු කරයි. 

කෙසේ වෙතත්, ඔහුගේ ලිංගික අත්දැකීම් නොමැතිකම නිසා ඔහු සාමාන්‍ය පිරිමියෙකුට වඩා බෙලහීනයෙකු වනු ඇතැයි යන බියෙන් මයිකල් ජෙසී වෙත යන්නේ ඔහුගේ කන්‍යාභාවය නැති කර ගැනීමට ය. අද්වායිට් සාරාව හැර ගිය පසු ඇය ජෙසී සමග ජීවත් වී ඇත. ජෙසී වෙළඳපොළට ගොස් සිටියදී මයිකල් ඇතුළු වන අතර සාරා ගණිකාව යැයි සිතයි. මේ අතර, අද්වයිට් තම වැරැුද්ද වටහාගෙන ගෝවා වෙත ආපසු යයි. ඔහු ජෙසීගේ නිවසට පැමිණෙන්නේ මයිකල් සාරා දූෂණය කිරීමට තැත් කරන අවස්ථවේදිම ය. ඔහු මැදිහත් වී සාරාව බේරා පොලිසියට කතා කරයි. 

මයිකල්ගේ පොලිස් මිතුරන් වන නිටින්, දේවන් සහ වික්ටර් පැමිණ, කට උත්තර ගැනීම සදහා පොලිස් වෑන් රථයෙන් අද්වයිට් සහ සාරා රැුගෙන යති. දෙදෙනා නැවත එක් වන නමුත්, මයිකල් සහ ඔහුගේ සගයින් අද්වයිට් සහ සාරා පාලමක් මතට ඇදගෙන ගොස්, මයිකල්ගේ අපකීර්තිය වළක්වා ගැනීම සදහා (මයිකල්ගේ ලිංගික බෙලහීනතාව සාරා ද දැනගත් බැවින්) අද්වයිට්ට දරුණු ලෙස පහර දී දෙදෙනාටම මාරාන්තික මත්ද්‍රව්‍ය එන්නත් කර, සාරාව පාලමෙන් පහළට විසි කරයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හංවඩු ගසා අද්වයිට්ට වසර පහක සිර දඩුවමක් නියම කරයි. සාරාගේ මරණය නිසා අද්වයිට් මෙලෙස ඔවුන්ගෙන් පළිගමින් සිටී.

වර්තමාන කතාවේදී මයිකල් අද්වයිට්ට හෙළි කරන්නේ නිවස ගිනි තැබීමෙන් පසු ජෙසීව දූෂණය කර මරා දැමූ බවයි. පසුව මයිකල් පිටත්ව යන්නේ අගාෂේට අද්වයිට්ව මරාදැමිය හැකි වන පරිදිය. පිටත්ව යාමට පෙර මයිකල් අගාෂේට සුබ සොලිස්ටිස් යැයි පවසන අතර, සෑම මිනීමැරුමකටම පෙර අගාෂේ අමතා එකම දේ පැවසීම නිසා අද්වායිට්ගේ පළිගැනීමට හේතුව මයිකල් විය හැකි බව අගාෂේ තේරුම් ගනී. අගාෂේ අද්වයිට්ව සියල්ල ආරම්භ කළ පාලම වෙත ගෙන යන අතර, එහිදී මයිකල් සහ ඔහුගේ මිතුරන් සාරා මරා දැමූ ආකාරය අද්වයිට් පවසයි. ඒ මොහොතේ නිවසට යන මයිකල්, තෙරේසා තමා හැර යාමට සූදානම් වන බව දකී. මයිකල් මානසික ව්‍යාකූලතාවක් මවා පාමින් ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට උත්සාහ කරයි. ඔහු ඇයගේ හුස්ම හිර කරද්දී හදිසියේම යමෙක් බෙල්ලට ඖෂධයක් එන්නත් කරනු ලැබේ. ඔහු හැරී බලන විට දකින්නේ, අද්වායිට් ඇඳ සිටි ජැකට්ටුවම පැළඳ සිටින සාරා ය.

අගාෂේ ඉදිරියේ අද්වායිට්ගේ මතකාවර්ජනයන් තුළ සදහන් කරන්නේ ජෙසී, සාරා වැටීමෙන් බේරා ගත් නමුත් සාරාට ඇගේ දරුවා අහිමි වූ බවයි. වසර පහක් පුරා සාරා සහ අද්වයිට් එක්ව පළිගැනීමට සැලසුම් කර තිබූ අතර, සාරා සහ අද්වයිට් යන දෙදෙනාම එක්ව මෙම ඝාතන සිදු කර ඇති බව ප‍්‍රකාශ කරයි. හදිසියේම අගාෂේගේ සහායකයාට ඇමතුමක් ලැබෙන අතර මයිකල්ව ඔහුගේ නිවසේදීම ඝාතනය කර ඇති බව දැනගන්නට ලැබේ. කිසිදු සාක්ෂියක් නොමැති නිසා අගාෂේ අද්වයිට්ව නිදහස් කරයි. තමා මිනිසෙකු දුටු බව පොලිසියට පවසමින් තෙරේසා, සාරාව ආරක්ෂා කරයි. අද්වයිට් සහ සාරා සැනසුම සොයා නව ජීවිතයක් ආරම්භ කරති.


මාලන්ග් චිත‍්‍රපටය තුළින් මතු වන සමාජ විවරණයන් ගණනාවකි. කෙනෙක්ගේ දුර්වලකම අනෙකාගේ ශක්තිය වේ. සාරා නම්බියාර්ගේ සමාජ බිය එකින් එක ඉවත් කරන්නේ අද්වයිට් ය. ඒ ඇගේ සුරතේ බැද ඇති නූලේ ගැට එකින් එක ඉවත් කරමිනි. නමුත් ඔහු ජීවිතේ වි`ද නැති අත්දැකීම් වලට මුහුණ දීමට ශක්තිය දෙන්නේ ඇයයි.

දුර්වල මිනිසෙකුට පවා දැනෙන දැඩි කම්පනය, වේදනාව ඔහුව ශක්තිමත් මිනිසෙකු බවට පත් කිරීම. මයිකල්, අගාෂේ සහ අද්වයිට් තිදෙනාම මිනීමරුවන් ය. සමාජ අසාධාරණය සහ ජීවිතයට ළං වූවන් දුරස්වීම ඔවුන්ගේ විකෘති තත්වයට හේතු සාධක වී ඇත. දියණියගේ වියෝව අගාෂේගේ විකෘති තත්වයට හේතු වේ. ඔහු දාමරිකයින්ට පහර දෙන්නේත්, මත්ද්‍රව්‍ය වලට හුරු වෙන්නේත්, ශරීරය පුරා පච්චා කොටා ගන්නේත් එම විකෘති තත්වය හේතුකොට ගෙනය. මැරයින් පාතාලයින් බිහිවන්නේ ද සමාජ අසාධාරණයට ලක්වීම නිසාය. අද්වයිට් මැරයෙකු බවට පත්වන්නේ එහෙයිනි. ලිංගික ශක්තිය හීන වූ දුර්වල පුරුෂයින් වෙනත් විකෘති ශක්තීන් භාවිත කොට සමාජය ඉදිරියේ පරිපූර්ණ පුද්ගලයින් සේ පෙනී සිටීමට ගන්නා උත්සාහය මයිකල්ගේ චරිතයෙන් ඉස්මතු වේ. ‘‘බයට, තමන් හිතන් ඉන්නවට වඩා දෙයක් කරන්න පුලූවන් බව’’ ඔහු විශ්වාස කරයි. 

මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙකුගේ ඇතුළාන්තයෙන් පවතින පශ්චත්තාපය ජෙසීගේ චරිතයෙන් මතුකොට දැක්වේ. ජීවිතයේ සතුට නොව සැනසීම බලාපොරොත්තු වෙන සාරාගේ හීනය වන්නේ, මව සහ පියා සමග එකට හිද නත්තල සැමරීමය. 

මයිකල් අවසානයට නිවසට යන අවස්ථාවේදී අගාෂේ පවසන්නේ, ‘‘ඔයා මයිකල් වෙන්න. වැරදි හදාගෙන බිරිද එක්ක ජීවත් වෙන්න’’ යනුවෙනි. සමාජය ඉදිරියේ දරුණු වූවන් යම් පෞද්ගලික පීඩාවකින් පෙළෙන බවත්, මයිකල් පවා එවන් වූ තත්වයක් මත සිටින බවත් අගාෂේ හ`දුනාගත් බව එම ප‍්‍රකාශයෙන් පැහැදිලි වේ. 

අද්වයිට් සාරාගේ අවසන් බියත් නැති කරමින් එක්වන්නේ, අතෙහි බැදි නූලේ අවසන් ගැටයත් ලිහා දමමිනි. චිත‍්‍රපටය අවසන් වන්නේ අද්වයිට් විසින් දැනුම් දුන් ආකාරයටම, නාඳුනන කාන්තා දුරකථන ඇමතුමකින්, සිදුවීමට නියමිත මිනීමැරුමක් ගැන අගාෂේට දැනුම් දීමත් සමගය. අගාෂේ තවදුරටත් අසාධාරණයට ලක්වූවන් වෙනුවෙන් නීතීයට පිටින් හෝ කටයුතු කරනු ඇති බවට සංඥාවක් මෙන් එය හැගවේ.

ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය දර්ශන මාපා පතිරණගේ

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

Comments

Popular posts from this blog

ත‍්‍රිමාණ තාක්ෂණයෙන් රූගත කළ ශ‍්‍රී ලංකාවේ පළමු සිනමා නිර්මාණය- විජයබා කොල්ලය

උං ඝරසරප කිව්වට මගේ නම කඵ කුමාර- ඝරසරප

ඔවුන් උත්පත්තියෙන් සමාන භාග දෙකක්- නමුත් ඔවුන් විෂමයි.- විෂම භාග