හතරවන බලාණ්ඩුවට පහර දුන් ලුයියයි ගුණයි- The Newspaper
යුද්ධය මිනිසුන් මුළා කරයි. මාධ්‍යය ද මිනිසුන් මුළා කරයි. වගකිව යුත්තන් මෙන්ම කිසිදු සම්බන්ධකමක් නොමැති අහිංසක මිනිස් ප‍්‍රාණයන් එම මුළාවන්ගෙන් සාපලත් ජීවිත ගත කරයි. පොළොන්නරුව ගල්ලෑල්ල විහාරස්ථානයේ හිමියන්ට අනුව සියලූ දුක් කම්කටොලූ වලට හේතුව, පෙර සංසාරයේ කරපු අකුසල් ය. සිනමාපටයේ ආරම්භයේ පටන් අවසානය දක්වා දුඃඛාන්තයකි. අතරින් පතර සිනහවක් මතු කෙරෙන තැන් කිහිපයකි. නමුත් ඒ සිනාසෙන්නේ අපටම නොවේදැයි ඒ මොහොතේම පසක් වන විට, සිනහව අතුරුදහන් වන්නේය. ප‍්‍රවීණ රංගන ශිල්පීන් යුගලයක් වන සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර ප‍්‍රධාන රංගනයෙන් හා අධ්‍යක්ෂණයෙන් සිනමා ශාලාවට ආ නවතම සිනමා සිත්තමයි, The Newspaper. සිනමාපටයේ ආරම්භක නාමාවලිය යටින් දිවෙන උඩුයටිකුරු වූ පුවත්පත් ලිපි පෙළකි. සමාජයේ නිරන්තර කථාබහට ලක්වන යුධ, අපරාධ ආදී සිදුවීම් ඒ පුවත්පත් ලිපි තුළ සනිටුහන් වේ. ගුණා (සරත් කොතලාවල) පොළේ ඉවත දමන එළවලූ වලින් කුණු වූ හරිය ඉවත් කර තම මෑණියන් පෝෂණය කරයි. ගොවියෙකු ලෙස කටයුතු කළ ගුණාට සහ මෑණියන්ට වසර අටකට පමණ පෙර ගම්වැසියන් විසින් පහර දී ගමෙන් එළවන්නේ, ගුණාගේ මල්ලී කොළඹ රැකියාව කරන කාලයේ, හමුදා බස්රථයකට එල්ල කළ ...